Skip to content

පටුනට යන්න

තස්මේනියාවේ අරුම පුදුම සත්තු

තස්මේනියාවේ අරුම පුදුම සත්තු

තස්මේනියාවේ අරුම පුදුම සත්තු

දහවල් කාලයේදී වනාන්තරයේ පවතින්නේ දැඩි නිහැඬියාවක්. නමුත් රාත්‍රිය උදා වෙත්ම ඒ නිහැඬියාව බිඳ දමමින් බියකරු හඬකින් මුළු වනයම දෙවනත් වෙයි. මේ භයානක හඬේ හිමිකරු තස්මේනියන් ඩෙවල් නම් සත්වයායි. මේ ශක්තිමත් සතාගේ පෙනුමත් බියකරුයි. විශේෂයෙන්ම ආහාර බුදින විට ඌ ඉතා රෞද්‍රයි. භයානක පෙනුමක් හා හඬක් තිබුණත් ඌ භයානක සතෙක් නොවෙයි.

වනයේ ඇති මළ කුණු වේගයෙන් කා දැමීමේ හැකියාවක් උන් සතුයි. මළ කුණක් හමු වුණු විට උන් මස් හා හම පමණක් නොව ඇටකටු ටික පවා කා දමනවා. උන්ට එසේ කිරීමට හැකි වෙන්නේ උන්ගේ ශක්තිමත් හකු හා දත් නිසයි. උන් කොතරම් ප්‍රමාණයක් කනවාද කියනවා නම් පැය බාගයක් වැනි කෙටි කාලයක් තුළදී උන්ගේ ශරීරයේ බරෙන් සියයට 40ක් තරම් ප්‍රමාණයක් කා දමයි. එය හරියට මිනිසෙකු එක් වේලකට කිලෝග්‍රෑම් 25ක් කනවා හා සමානයි.

මේ වනාන්තරයේ දකින්න ලැබෙන සුරතලෙක් තමයි ලෝමවලින් වැසුණු වොම්බැට් නම් සත්වයා. උන්ට කැන්ගරුවන්ට මෙන් පැටවුන් ගෙන යෑමට පැසක් තිබෙනවා. නමුත් එහි ඇති විශේෂත්වය වන්නේ පැසේ විවරය පසුපස පාද දෙක මැදට වෙන්න පිහිටා තිබීමයි. මේ නිසා මව ගුල් හාරන විට පැස තුළට පස් යන්නේ නැහැ. උන්ගේ දත් ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. උන් බිම හාරන විට තිබෙන බාධක දත්වලින් හපා ඉවත් කිරීමට උන්ට හැකියි. අලස පෙනුමක් තිබුණත් පෙර පාදයෙන් ආහාර තෝරාගෙන හෙමින් සීරුවේ කටට දාගන්නා ආකාරය හරි අපූරුයි.

තවත් අරුම පුදුම සත්වයෙක් වන්නේ ප්ලැටිපසායි. අමුතු පෙනුමක් ඇති ප්ලැටිපස්ට තිබෙන්නේ තාරාවෙකු හා සමාන හොටක් හා පාදයි. දියබල්ලෙකුට බොහෝ සෙයින් සමාන ලොම් සහිත සිරුරක් සහ බීවරයෙකුගේ වලිගයට සමාන වලිගයක්ද හිමියි. කිකිළියෙකු මෙන් බිත්තර දැමුවද පැටවුන් පෝෂණය වෙන්නේ මව්කිරිවලිනුයි. වොම්බැට් මෙන් ගුල් හාරයි. මෙම සතාව මුලින්ම දුටු විට විද්‍යාඥයන්ද ව්‍යාකූලත්වයට පත් වීම අරුමයක් නොවෙයි.

මෙවැනි සතුන් දකින විට උන් ගැන සොයා බැලීමට අප තුළ ආශාවක් ඇති වෙන්නේ ඇයි? ඊට හේතුව යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළට ‘පොළොව මත සිටින සියලු සතුන්ව ඔබ යටතේ තබාගන්න’ කියා පැවරුමක් ලබා දීමයි. (උත්පත්ති 1:28) එම පැවරුමට සතුන්ව රැකබලා ගැනීමත් ඇතුළත්.

[11වන පිටුවේ කොටුව/පින්තූරය]

රුක් ගොමුවේ දැවැන්තයෝ

තස්මේනියාවේ වනාන්තරේ ඇති ගස් අතරින් උසම ගස වන්නේ යුකැලිප්ටස් ගසයි. මල් පූදින මෙම ගස අඩි 250ක් පමණ උසට වැඩෙයි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැඩෙන රෙඩ්වුඩ් ගස අඩි 327ක් පමණ උසකට වැඩෙන අතර ලෝකයේ උසම ගස වන්නේ එයයි. යුකැලිප්ටස් ගසට හිමි වන්නේ දෙවෙනි තැනයි.

වනයේ වැඩෙන තවත් උස ගසක් වන්නේ යුවෝන් පයින් ගසයි. එය යුකැලිප්ටස් ගසේ උසෙන් අඩක් පමණ උසට වැඩෙයි. නමුත් වැඩිම කාලයක් පවතින ගස වන්නේ එයයි. එම ගස අවුරුදු 3,000කට අධික කාලයක් පවතින බවත් ලෝකයේ වැඩිම කාලයක් පවතින ගස් අතරින් එකක් බවත් විද්‍යාඥයන් පවසනවා. එම ගසෙන් ගන්නා දැව ඉතාමත් වටිනා නිසා ඒවා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත් බෝට්ටු තැනීමටත් යොදාගනියි. ලා කහ පැහැයෙන් යුත් එම ලී වර්ගයේ කල්පවතින ගුණයක් තිබෙන අතර එහි විශේෂිත තෙල් වර්ගයක් තිබෙන නිසා එය කෘමීන්ගෙන්ද ආරක්ෂා වෙයි. සමහර ලී කොටන් වනයේ අවුරුදු සිය ගණනක් තිබුණත් ඒවා තවමත් භාවිතයට ගත හැකි තත්වයක තිබෙනවා.

[10වන පිටුවේ පින්තූරය]

තස්මේනියන් ඩෙවල්

[හිමිකම් විස්තර]

© J & C Sohns/​age fotostock

[11වන පිටුවේ පින්තූරය]

වොම්බැට්

[11වන පිටුවේ පින්තූරය]

ප්ලැටිපස්

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Wombat and platypus: Tourism Tasmania; giant tree: Tourism Tasmania and George Apostolidis