Skip to content

පටුනට යන්න

දේවපාලනය යටතේ යුක්තිය රජයයි

දේවපාලනය යටතේ යුක්තිය රජයයි

දේවපාලනය යටතේ යුක්තිය රජයයි

බයිබලයේ සඳහන් වන්නේ යෙහෝවා දෙවි දැන් පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජයක් බිහි කරන බවයි. එවිට මුළු ලෝකයම එකම ආණ්ඩුවක් යටතේ පාලනය වෙයි. එම ආණ්ඩුව ස්ථාපිත කරන්නේ දෙවියි. එහි රජු යේසුස් ක්‍රිස්තුස්. (එළිදරව් 11:15) එම ආණ්ඩුව මගින් අදියර දෙකකින් දැන් පවතින අයුක්තිය හා අසාධාරණය සම්පූර්ණයෙන්ම තුරන් කරනවා.

1. සියලුම මිනිස් ආණ්ඩු ඉවත් කරයි. බයිබලයේ දානියෙල් 2:44හි මෙසේ පවසනවා. අන්තිම දවස්වලදී ‘ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් [මිනිස් ආණ්ඩු] පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’

2. සියලුම දුෂ්ටයන්ව විනාශ කරයි. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 37:10) “යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි. තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය. ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය” කියාද එහි සඳහන් වෙනවා.—ගීතාවලිය 37:28.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට කියා දුන් යාච්ඤාවේ සඳහන් වෙනවා. (මතෙව් 6:10) එය අද්දකින්නේ දෙවිව ‘කිසි ලෙසකින්වත් අත් නොහරින අයයි.’ දේවරාජ්‍යය යටතේ මනුෂ්‍යයන්ට ලැබෙන ආශීර්වාද ගැන සලකා බලමු.

දේවරාජ්‍ය පාලනය කරන විට . . .

පීඩිතයන්ට ගැලවීම ලැබෙයි. යේසුස් ක්‍රිස්තුස්ව බයිබලයේ හඳුන්වා දී තිබෙන්නේ ‘ධර්මිෂ්ඨකමට ප්‍රිය කළ, අධර්මිෂ්ඨකමට වෛර කළ’ කෙනෙක් ලෙසයි. (හෙබ්‍රෙව් 1:9) ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.’ (ගීතාවලිය 72:12-14) ඔහු ඇත්තෙන්ම යුක්තිසහගත රජෙක්.

කිසිවෙක් කුසගින්නේ නොසිටියි. “අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.” (ගීතාවලිය 67:6) “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.” (ගීතාවලිය 72:16) යේසුස්ට එක අවස්ථාවකදී දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස ආහාර දීමට හැකි වුණා. එයින් පෙන්නුම් කළේ දේවරාජ්‍ය යටතේදී ඔහුට කළ හැකි දෙයයි.—මතෙව් 14:15-21; 15:32-38.

යුක්තිය පෙරළීමට කිසිවෙකුටවත් නොහැකියි. ‘දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක. අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබෙනවා.’ (හෙබ්‍රෙව් 4:13) එමෙන්ම යේසුස්ද “මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.”—යෙසායා 11:3, 4.

දේවපාලනය වැඩි ඈතක නොවෙයි!

මේ සමාජය මෙතරම් පිරිහී තිබීමෙන් පැහැදිලි වන්නේ එහි විනාශය ඉතාමත් ළඟ බවයි. “දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය. නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය. නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.” (ගීතාවලිය 92:7) දෙවිගේ අනුමැතිය දිනාගෙන ඔහු ගැලවීම ලබා දෙන අය අතරේ සිටින්න නම් ඔබ කළ යුතු දේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

එම අගනා දැනුම ලබාගැනීමට ඔබ කැමති නම් හයිඩි, ඩොරති සහ ෆෙරෝඩින් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් උපකාරය ලබාගන්න. බයිබලය සම්බන්ධයෙන් ඔබට ඇති ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු ලබා දෙයි. ඒ සඳහා කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.

[8, 9වන පිටුවේ පින්තූරය/කොටුව]

ජීවිතය එරෙහි වන විට

එමලි ජීවත් වන්නේ ඇමරිකාවේ. ඇයට ලියුකේමියාව තිබෙන බව දැනගන්නා විට අවුරුදු හතයි. ඇගේ යහළුවන් ඉඳලා හිටලා කැස්සකට උණකට බෙහෙත් ගනිද්දී එමලි වසර ගණනාවක් පුරා රසායනික චිකිත්සාව වගේ දරුණු ප්‍රතිකාර ගන්නවා. “ලියුකේමියාව කියද්දීත් භයයි” කියලා ඇය පවසනවා.

එමලි කටුක අද්දැකීමකට මුහුණ දුන්නත් ඇය කලකිරී නැහැ. දෙවිගේ රාජ්‍යය යටතේ “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” යන පොරොන්දුව ඉටු වන තුරු ඇය බලා සිටිනවා. (යෙසායා 33:24) “මම කැමතිම බයිබල් පදය තමයි මාක් 12:30. ‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ මම යෙහෝවා දෙවිට යාච්ඤා කළාම දෙවි මාව ශක්තිමත් කරනවා. මට ලස්සන පවුලක් දුන්න එක ගැනත්, සභාව ගැනත් පාරාදීස පොළොවක ජීවත් වෙන්න දීලා තියෙන බලාපොරොත්තුව ගැනත් මම දෙවිට ස්තුති කරනවා. ඒක තමයි මගේ ශක්තිය.”

[8, 9වන පිටුවේ පින්තූර]

දෙවිගේ පාලනය යටතේ අසාධාරණයවත් පහත් කොට සැලකීමවත් නැහැ. සියලුදෙනාට කා බී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකියි