Skip to content

පටුනට යන්න

මලාවි රටේ නමස්කාර මධ්‍යස්ථාන 1,000ක්!

මලාවි රටේ නමස්කාර මධ්‍යස්ථාන 1,000ක්!

මලාවි රටේ නමස්කාර මධ්‍යස්ථාන 1,000ක්!

“මලාවි රටේ මේ වගේ දෙයක් වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ” කියා ඔගස්ටීන් පැවසුවා. ඔහු කතා කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මලාවි රටේ ඉදි කළ නමස්කාර මධ්‍යස්ථාන ගැනයි. මලාවි රට පිහිටා තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ගිනිකොන දෙසට වෙන්නයි. ඒ රටේ සාක්ෂිකරුවන්ට බයිබලය ගැන ඉගෙනගැනීමටත් දෙවිට නමස්කාර කිරීමටත් සුදුසු ස්ථාන නොතිබුණත් 1993 වන විට ඔවුන්ගේ සංඛ්‍යාව 30,000ක් දක්වා වර්ධනය වී තිබුණා.

නමුත් අද වන විට ඒ තත්වය හුඟක් වෙනස්. වර්ෂ 2010 සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ 1,000වෙනි නමස්කාර මධ්‍යස්ථානය බ්ලාන්ට්රේ නගරයේදී ගොඩනඟා අවසන් කළා. * නමස්කාර මධ්‍යස්ථාන නොතිබුණත් ඔවුන්ගේ සංඛ්‍යාව 30,000ක් දක්වා වර්ධනය වී තිබුණේ කෙසේද? එතරම් ධනවත් අය නොවන ඔවුන්ට කෙටි කාලයක් තුළදී නමස්කාර මධ්‍යස්ථාන 1,000ක් ඉදි කිරීමට හැකි වුණේ කෙසේද? මෙම ව්‍යාපෘතිය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හා ගම්වාසීන් පවසන්නේ කුමක්ද?

කරදරවලින් පිරි කාලයක්

එක්දහස් නවසිය ගණන්වල මුල්භාගයේදී සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ බයිබල් ශිෂ්‍යයන් ලෙසයි. මලාවි රටේ සිටි බයිබල් ශිෂ්‍යයන් බයිබලයේ තිබූ සත්‍යයන් අන් අයට කියා දුන්නා. වර්ෂ 1967 වන විට සාක්ෂිකරුවන් 17,000ක් පමණ සිටියා. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් ඔවුන්ද නීතිගරුක පුරවැසියන් මෙන්ම රජයේ නිලධාරීන්ට ගරු කළ අයයි. ඒ වගේම ඔවුන්ද මුල් ක්‍රිස්තියානීන් මෙන් දේශපාලන කටයුතුවලට කිසිසේත් හවුල් වුණේ නැහැ.—යොහන් 18:36; ක්‍රියා 5:29.

මේ හේතු නිසා 1960 ගණන්වල මැදභාගයේදී ඔවුන්ට බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වුණා. වර්ෂ 1967දී ඔවුන්ගේ ආගමික වැඩකටයුතු තහනම් කළා. වැඩි කාලයක් යන්න පෙර බොහෝ අයව රැකියාවලින්ද ඉවත් කළා. ඒ වගේම සමහර අයගේ දේපළ රාජසන්තක කළා. තවත් ඒවා විනාශ කර දැමුවා. එන්න එන්නම පීඩා වැඩි වීමත් සමඟම ඔවුන්ව සමූල ඝාතනය කරයි යන බිය නිසා දහස් ගණන් සාක්ෂිකරුවන් අසල්වැසි රටවල් වන මොසැම්බික් හා සැම්බියාවට පලා ගියා.

කාලයත් සමඟම මලාවි රටේ සිටි සාක්ෂිකරුවන්ගේ තත්වය වෙනස් වුණා. වර්ෂ 1990 වන විට රටෙන් පිට වී සිටි සාක්ෂිකරුවන් නැවතත් තම මව්බිමට පැමිණියා. වසර 26කට පසු එනම් 1993 අගෝස්තු 12වෙනිදා ඔවුන්ට පනවා තිබූ තහනම ඉවත් කළා. එය ඔවුන්ට මොන තරම් සතුටක් හා සහනයක් වන්න ඇද්ද! දැන් ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ වෙනත් ආකාරයක අභියෝගයකටයි. එනම් සාක්ෂිකරුවන් 30,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටියත් ඔවුන්ට නමස්කාර කිරීමටත් බයිබලය ගැන ඉගෙනගැනීමටත් සුදුසු ස්ථාන නොතිබීමයි. දැන් ඔවුන් මෙම අභියෝගය කෙසේ ජය ගනියිද?

ප්‍රේමය ක්‍රියාවට පෙරළෙයි

තහනම ඉවත් කළ මුල් අවුරුදු හයේදී එහි සිටි සාක්ෂිකරුවන් තමන්ට තිබූ මූල්‍යමය සම්පත් යොදාගෙන නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමට පටන්ගත්තා. නමුත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. සෑම වසරකම සිදු වන සාක්ෂිකරුවන්ගේ වර්ධනයත් සමඟම ශාලාවල හිඟයක් ඇති වුණා. ඊට විසඳුමක් ලැබුණේ බයිබලයේ තිබුණු මෙම ප්‍රතිපත්තියෙනුයි. “ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන. එවිට ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකමද පිරිමැසෙයි.” (2 කොරින්ති 8:14) එම ප්‍රතිපත්තියට අනුව 1999දී සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් මූල්‍යමය සම්පත් අඩු රටවලට නමස්කාර මධ්‍යස්ථාන ඉදි කර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙම ප්‍රේමණීය සැලැස්ම නිසා මලාවි රටේ සාක්ෂිකරුවන්ට නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමට හැකි වුණා. *

අලුත් ශාලා ඉදි කිරීමට පෙර ඔවුන් රැස්වීම් පැවැත්වූයේ පාසැල්වල, තාවකාලිකව සෑදූ මඩුවල හා ගස් යටයි. නමුත් දැන් සභා 1,230කට දෙවිට නමස්කාර කිරීමටත් බයිබලය ගැන ඉගෙනගැනීමටත් සුදුසු ස්ථාන තිබෙනවා. මලාවි රටේ සිටින 75,000කට වඩා වැඩි සාක්ෂිකරුවන් තමන්ට සුදුසු ශාලා ඉදි කිරීමට උපකාර කළ ලෝක ව්‍යාප්තව සිටින සහෝදර සහෝදරියන්ට තමන්ගේ හද පත්ලෙන්ම අගය පළ කරනවා.

කෙටි කාලයක් තුළදී බොහෝ ශාලා ඉදි කිරීමට ඔවුන්ට හැකි වුණේ ඔවුන් අන් අයගේ අවධානය ඇදගන්නා ආකාරයේ සුඛෝපභෝගී ගොඩනැඟිලි ඉදි නොකළ නිසයි. ඔවුන්ට අවශ්‍ය වුණේ දෙවිට ගෞරවය ලැබෙන ආකාරයට සරල ශාලා ඉදි කිරීමටයි.

අන් අය ලබන ප්‍රයෝජන

අතීතයේදී සාක්ෂිකරුවන්ට නමස්කාර කිරීමට සුදුසු ස්ථාන නොතිබුණු නිසා ඔවුන් කාගෙත් උසුළු විසුළුවලට ලක් වුණා. මේ නිසා බයිබලය ගැන ඉගෙනගැනීමට උනන්දුව දැක්වූ අයට පවා රැස්වීම්වලට ආරාධනා කිරීමට සමහර සාක්ෂිකරුවන් අදිමදි කළා. නමුත් දැන් ඔවුන්ටම කියා ලස්සන ශාලා තිබෙන නිසා අසල්වැසියන්ට හා වෙනත් අයට ආරාධනා කරන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ. ඔවුන් එසේ කරන්නේ හද පිරි සතුටිනුයි. එක් අවස්ථාවකදී අලුතින් ඉදි කළ ශාලාවක රැස්වීමකට 698දෙනෙක් පැමිණ සිටියා.

තමන්ගේ ප්‍රදේශයේ මෙතරම් ලස්සන හා සවිශක්තියෙන් ඉහළ ශාලා ඉදි වෙයි කියා තමන් නොසිතූ බව බොහෝ සාක්ෂිකරුවන් මෙන්ම වෙනත් අයද පැවසුවා. මෙම ලිපියේ මුලින් සඳහන් කළ ඔගස්ටීන් නම් තැනැත්තා ගසක් යට රැස්වීම් පැවැත්වූ කාලය ගැන මෙසේ සිහිපත් කරනවා. “පායන කාලයට නම් ගහක් යට රැස්වීම් තියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් වැහි කාලයේදී නම් ලෙහෙසි වුණේ නැහැ.”

ඒ වගේම ඔහු කතාවක් දීමට ගිය අවස්ථාවකදී සිදු වූ අද්දැකීමක් ඔහු මෙසේ මතකයට නඟනවා. “අපි කලින් රැස්වීම් පැවැත්තුවේ පිදුරු සෙවිලි කළ මඩුවක. ඒ වහලේ විෂ සහිත මකුළුවෙක් ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මම කතාව දෙනකොට එක පාරටම සතෙක් මගේ කකුල ළඟට වැටුණා. සභාවේ හිටිය කෙනෙක් භය වෙලා ‘ඔගස්ටීන් පාගන්න! පාගන්න!’ කියලා කෑගැහුවා. මම ඒ වෙලාවේ ඌව පෑගුවා. මම අද ජීවතුන් අතර ඉන්නේ ඒ නිසයි.” දැන් ඔවුන්ට අලුත් ශාලාවක් තිබෙන නිසා කිසිම බාධාවකින් තොරව රැස්වීම්වලට සවන් දෙන්න පුළුවන්.

“ගමට ලොකු සිරියාවක්!”

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ව්‍යාපෘතිය නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ප්‍රදේශවාසීන් මෙන්ම ග්‍රාම නිලධාරීන් කොතරම් පැසසුමට ලක් කර තිබෙනවාද කියා පහත සඳහන් අදහස්වලින් පැහැදිලි වෙයි.

✔ “ඔවුන් හදලා තියෙන මේ ශාලාවත් ඒ අය අතර තියෙන ප්‍රේමය හා එකමුතුකමත් ගමට ලොකු සිරියාවක්. ඔවුන් අනික් පල්ලිවල අයටත් හොඳ ආදර්ශයක්.”—චබ්වෙන්සි ගම්මානයේ ගම්මුලාදෑනියා.

✔ “මම ගොඩක්ම අගය කරන්නේ සාක්ෂිකරුවන් අතර තියෙන එකමුතුකමයි. අපේ පල්ලිය හදන්න පටන් අරන් දැන් අවුරුදු දහයක් වෙනවා. ඒත් තාමත් ඒක හදලා ඉවර නැහැ. සාක්ෂිකරුවන් හදපු මේ ශාලාව නිසා ගමත් ලස්සන වෙලා. ඒ වගේ ශාලාවක් අපේ ගමේ හැදුවට මම ඒගොල්ලන්ට ස්තුති කරනවා.”—චික්වෙන්නෙම්බේ ගම්මානයේ ග්‍රාම නිලධාරී.

✔ “ඔයාලා වැඩ කරන විදිහ දැක්කාමත් ආසයි, හරි කඩිසරයි, ඒ වගේම පිළිවෙළයි. ඒ වගේ වැඩ කරන්න නම් ඔයාලා අතරේ ලොකු එකමුතුකමක් තියෙන්න ඕනේ.”—චියුසියෙරා ගම්මානයේ ගම්මුලාදෑනියා.

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ව්‍යාපෘතිය මොන තරම් ප්‍රසිද්ධියට පත් වුණාද කියනවා නම් ඒ ගැන ඒ රටේ ශබ්දකෝෂයකත් සඳහන් වෙනවා. ශබ්දකෝෂයේ සාක්ෂිකරුවන් යන වචනය යටතේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝ නමස්කාර මධ්‍යස්ථාන ගොඩනඟා තිබෙනවා” කියා සඳහන් වෙනවා.

“මේක නම් ලොකු ආශ්චර්යයක්!”

ඉහත සඳහන් කළ ආකාරයට බ්ලාන්ට්රේ නගරයේ මැන්යුවේ ගම්මානයේ ඉදි කළ නව ශාලාව 2011 ජනවාරි 30වෙනිදා දෙවිට කැප කළා. එය මලාවි රටේ ඉදි කළ 1,000වෙනි ශාලාවයි. එම සභාවේ සහෝදරයෙක් පැවසුවේ “මේක නම් ලොකු ආශ්චර්යයක්! අපේ සිහිනයක් සැබෑ වුණා වගේ” කියායි.

“ශාලාව හදන කාලේ හැමදාම මමත් ඒ වැඩවලට හවුල් වුණා. අපේ ගමේ නමස්කාර මධ්‍යස්ථානය හදනකොට මටත් ඒකට උදව් කරන්න ලැබුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා.” එසේ පැවසුවේ මැන්යුවේ සභාවේ දැරියක්.

“ශාලාව හදන්න ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ටිකක් අමාරු වුණා. අවස්ථා කිහිපයකදීම ඒ නිලධාරීන් අවසර දෙන්න කැමති වුණේ නැහැ. ඒත් අපි කවුද කියලා අදාළ නිලධාරීන්ට පැහැදිලි කරලා දෙන්න ග්‍රාම නිලධාරිනිය හුඟක් මහන්සි වුණා.” එසේ පැවසුවේ වැඩිමහල්ලෙක්.

දිනක් එම ග්‍රාම නිලධාරිනී වැඩිමහල්ලෙක් සමඟ ප්‍රාදේශීය කාර්යාලයට ගොස් මෙසේ පැවසුවා. “මම ආසයි සාක්ෂිකරුවන් අපේ ගමේ ශාලාව හදනවාට. ඒගොල්ලෝ හොඳ මිනිස්සු. මේ අය කවදාවත් ප්‍රශ්නයක් අරන් මගේ ළඟට ඇවිත් නැහැ.” අවසානයේදී අපට අවසර ලැබුණා.

නමස්කාර මධ්‍යස්ථානය දෙවිට කැප කරන අවස්ථාවේදී අපි ඇයටත් ආරාධනා කළා. “මේ වගේ ශාලාවක් අපේ ගමේ තියෙන එක මට ආඩම්බරයක් වගේම සතුටක්” කියා ඇය පැවසුවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ව්‍යාපෘතිය ගැන සෙසු සාක්ෂිකරුවන් මෙන්ම ගම්වැසියන්ද අගය පළ කරනවා. සාක්ෂිකරුවන් තුළ තිබූ ආත්ම පරිත්‍යාගීලී ස්වභාවය නිසාත් වෙහෙස නොබලා වැඩ කළ නිසාත් 1993දී එම රටේ පැවති ශාලා හිඟය දැන් මඟහැරී තිබෙනවා. ඒත් ‘රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය’ ජනයා පිළිගන්නා විට අනාගතයේදී තවත් නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ අවශ්‍යතාව මතු වෙයි. (මතෙව් 24:14) ඉදිරියටත් ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ගේ සහයෝගය ලැබෙන බව ඔවුන්ට විශ්වාසයි. *

මේ සෑම දේකටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මූලිකවම තම අගය පළ කරන්නේ යෙහෝවා දෙවිටයි. ඔවුන්ගේ හද පත්ලෙන්ම නැඟෙන්නෙත් බයිබල් ලේඛකයෙක් පැවසූ මේ දෙයයි. “යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන් සියලු ජාතීහු ඇවිත් ඔබ ඉදිරියේ වැඳ වැටෙනු ඇත. ඔවුහු ඔබේ නාමය ගෞරවයට පත් කරනු ඇත. මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.”—ගීතාවලිය 86:9, 10.

[පාදසටහන්වල]

^ 3 ඡේ. අද වන විට මේ සංඛ්‍යාව 1,030ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

^ 9 ඡේ. සාක්ෂිකරුවන් විසින් 1999 සිට මූල්‍යමය සම්පත් අඩු රටවල් 151ක නමස්කාර මධ්‍යස්ථාන 23,786ක් ඉදි කර තිබෙනවා.

^ 28 ඡේ. ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සිදු වන්නේ ස්වේච්ඡාවෙන් කරන සම්මාදම්වලිනුයි.

[24වන පිටුවේ පින්තූරය]

අලුත් ශාලා ඉදි කරන්න කලින් රැස්වීම් පැවැත්වූයේ මෙවැනි ස්ථානවලයි

[24වන පිටුවේ පින්තූරය]

දැන් රැස්වීම් පවත්වන්නේ මෙවැනි ශාලාවලයි