Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

යෞවන අය අසති . . . බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද? (2009 අප්‍රියෙල්) මම වයස 24ක මවක්. මට බයිබලය කියවන එක ලේසි දෙයක් වුණේ නැහැ. මේ ලිපියේ තිබුණ යෝජනා මම අදාළ කරගත්තා. කපා බයිබලයේ තියාගන්න කියලා තිබුණ ඒ කොටස මට හුඟක් ප්‍රයෝජනවත්. මම දැන් බයිබලය කියවන්නේ ආසාවෙන්. බයිබලයේ පොත් එකින් එකට සම්බන්ධයි. ඒ හැම එකක්ම, එකම තේමාවක් යටතේ ලියවුණු ලස්සන කතාවක් වගේ. මීට කලින් බයිබලය කියවද්දී මේ වගේ හැඟීමක් මට ආවේ නැහැ. බොහොම ස්තුතියි.

ඇමරිකාවේ කේ. ටී.

විශ්වාස කළ හැකි පොතක්—6වන කොටස (2011 අප්‍රියෙල්) මෙම ලිපියේ “රෝමය ගැන බයිබල් වාර්තාව” යන කොටසේ මෙසේ සඳහන් වුණා. “යෙරුසලමට සිදු වුණේ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 70දී රෝම සොල්දාදුවන් 60,000ක් සමඟ ජෙනරාල් වෙස්පේසියන් සහ ඔහුගේ පුත් ටයිටස් නැවත යෙරුසලම වැටලුවා.” මෙම කොටසින් අදහස් කරන්නේ යෙරුසලම වටලන අවස්ථාවේදී පෙරමුණ ගත්තේ වෙස්පේසියන් සහ ටයිටස් කියායි. නමුත් ඉතිහාස වාර්තාවලින් පෙන්වන්නේ එම කාලයේදී වෙස්පේසියන් රෝමයේ සිටි බවයි.

ඕස්ට්‍රේලියාවේ ජේ. ඕ.

පිබිදෙව්! පිළිතුරු දෙයි: පෝල් එල්. මයර් විසින් රචිත පොතක මෙසේ සඳහන් වෙනවා. (Josephus—The Essential Writings) “ටයිටස් තම 15වෙනි සේනාංකයත් සමඟ ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පැමිණ ටොලමැයිසය නුවර පස්වෙනි හා දහවෙනි සේනාංක සමඟ සිටි තම පියා වන වෙස්පේසියන් සමඟ එකතු විය.” ඊට අමතරව රෝම අධිරාජ්‍යය ගැන එක් විශ්වකෝෂයක වෙස්පේසියන් ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ක්‍රිස්තු වර්ෂ 68දී ඔහු තම පුත්‍රයා වූ ටයිටස් සමඟ යුදෙව්වන්ට පහර දී යෙරුසලමේ දේවමාලිගාව වැටලීමට සූදානමින් සිටි අවස්ථාවේදී නීරෝ අධිරාජ්‍යයා පරාජය වී ඒ වෙනුවට ගල්බා පත් කර ඇති බව ඔහුට දැනගන්න ලැබුණා. ක්‍රිස්තු වර්ෂ 70දී වෙස්පේසියන් රෝමයේ සිට පැමිණියා.’ මෙයින් පැහැදිලි වන්නේ වෙස්පේසියන් සහ ටයිටස් එකතු වී මුලින්ම යෙරුසලමට පහර දුන් බවයි. ඒත් කිසියම් හේතුවක් නිසා යම් කාලයකට වෙස්පේසියන් රෝමයට ගිය අතර ඔහු වෙනුවට ටයිටස් මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ සිහින සැබෑ වෙයිද? (2011 පෙබරවාරි) අත් කරගත නොහැකි ඉලක්කවලට උදාහරණ ලෙස දී තිබුණේ “ධනවතෙක් වීම, ප්‍රසිද්ධත්වයක් සහ පූර්ණ ශරීර සෞඛ්‍යයක් ලබාගැනීම, සර්ව සම්පූර්ණ සහකරුවෙකුව සොයාගැනීම” වැනි දේවලුයි. සර්ව සම්පූර්ණ සහකරුවෙකුව සොයාගැනීම අත් කරගත නොහැකි ඉලක්කයක් කියා සඳහන් කර තිබුණේ ඇයි? විවාහය අත් කරගත නොහැකි ඉලක්කයක් වෙන්නේ කොහොමද?

එක්සත් ජනපදයේ එස්. කේ.

පිබිදෙව්! පිළිතුරු දෙයි: එම ලිපියේ විවාහය ළඟා විය නොහැකි ඉලක්කයක් කියා සඳහන් කර තිබුණේ නැහැ. එහි සඳහන් වුණේ “සර්ව සම්පූර්ණ සහකරුවෙකුව” සෙවීමට වෙහෙසීම ගැනයි. සහකරුවෙකුගෙන් “සර්ව සම්පූර්ණත්වය” බලාපොරොත්තු වීම යනු ඔහු හෝ ඇය අතින් කිසිම වරදක් නොවන හොඳ ගතිගුණ පමණක් තිබෙනවා යන්නයි. එවැනි කෙනෙක් සෙවීම නිෂ්ඵල වන්නේ මේ කාරණා දෙක නිසයි. පළමු එක නම් එවැනි කෙනෙක් මෙලොවෙහි නැති වීමයි. (රෝම 3:23) දෙවෙනි එක නම් එවැනි සහකරුවෙකුව සෙවීමට වෙහෙසීමෙන් පුද්ගලයෙක් බලන්නේ තමාට ලබාගත හැකි දේ මිස විවාහය වෙනුවෙන් තමන් කොතරම් කැප කිරීමක් කළ යුතුද යන්න නොවේ. සමහර විවාහක අය පවා තම සහකරු හෝ සහකාරිය සර්ව සම්පූර්ණ කෙනෙක් කිරීමට උත්සාහ කිරීමෙන් කලකිරීමට පත් වී තිබෙනවා. ඇත්තෙන්ම සාර්ථක විවාහයකට දායක වන්නේ දෙදෙනා අතින්ම වැරදි සිදු වෙනවා කියා පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමයි. එනම් ‘ඉවසීම’ හා ‘මුළු හදවතින්ම සමාව දීමයි.’—කොලොස්සි 3:13.