Skip to content

පටුනට යන්න

අපරාධවලට හේතු

අපරාධවලට හේතු

අපරාධවලට හේතු

මිනිසුන් අපරාධ කිරීමට පෙලඹෙන්නේ ඔවුන්ගේ ආශ්‍රිතයන්, විනෝදාංශ හෝ ඔවුන් ජීවත් වන පරිසරය නිසාම නොවෙයි. ඊට තවත් හේතු බලපායි. ඉන් කිහිපයක් සලකා බලමු.

බලාපොරොත්තු සුන් වීම. මිනිසුන්ට අසාධාරණයක් වන විට, සමාජයෙන් කොන් වන විට, ආර්ථික ගැටලු පැන නඟින විට හෝ ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට නොහැකි වන විට ඔවුන් කලකිරීමට පත් වෙනවා.

කල්ලි ගැසීම. මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ ක්‍රීඩා තරඟ පැවැත්වෙන විටයි. මෙවැනි අවස්ථාවලදී ඔවුන් නොහික්මුණු ලෙස හැසිරෙනවා. තමන්ගේ හැසිරීම ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ. මිනිසුන් එසේ හැසිරෙන්නේ ඇයි? එක් පොතක ඒ ගැන මෙවැනි අදහසක් පළ කර තිබුණා. “තමන් සතු සාරධර්ම ගැන කිසිම තැකීමක් නොකරන නිසා ඔවුන් හැසිරෙන්නේ කලහකාරී ලෙසයි.” (Social Psychology) එවැනි අය “සමාජයට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් අමතක කර” මොළයක් නැති රූකඩ මෙන් හැසිරෙනවා කියා තවත් පොතක සඳහන් වුණා.

වෛරය සහ ඊර්ෂ්‍යාව. මිනිස් ඉතිහාසයේ පළමු මිනී මැරුම සිදු කළේ කායින් නම් පුද්ගලයායි. (උත්පත්ති 4:1-8) ඔහුගේ කෝපය පාලනය කරගන්න කියාත් එසේ කළොත් ඔහුට ආශීර්වාද කරනවා කියාත් යෙහෝවා දෙවියන් කායින්ට පැවසුවා. නමුත් ඔහු තුළ තිබූ දැඩි වෛරය හා ඊර්ෂ්‍යාව නිසා ඔහු තම සහෝදරයාව ඝාතනය කළා. ඉන් ඔප්පු වුණේ බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාවයි. “ඊර්ෂ්‍යාව ඇති විවාදශීලී කෙනෙකු තුළ වියවුලද සියලු ආකාර පිළිකුල් දේවල්ද දක්නට ලැබේ.”—යාකොබ් 3:16.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය. මෙවැනි දේවල් භාවිත කිරීම නිසා පුද්ගලයෙක් මානසිකව හා කායිකව දුර්වල වෙනවා පමණක් නොව ඔහුගේ කල්පනා ශක්තියත් හීන වෙනවා. එවිට සුළු දේටත් කිපෙන අතර අපරාධ කිරීමට පවා ඔහු පෙලඹෙයි.

ළිහිල් නීති. “වරදකට නිසි දඬුවම වහාම නොදෙන විට ජනයා කිසි බියක් සැකක් නොමැතිව දුෂ්ටකම් කිරීමට පෙලඹෙති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 8:11) නිසි නීති පද්ධතියක් නොතිබෙන විටත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන විටත් අපරාධ වැඩි වැඩියෙන් සිදු වෙයි.

ආගම්. අපරාධ සිදු කිරීමට ආගම්ද දායක වී තිබෙනවා. නිකායන් අතර ඇති වන ගැටුම් හා වෙනත් අරගල ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. පළමුවෙනි හා දෙවෙනි ලෝක මහා යුද්ධ දෙකේදීම ප්‍රධාන ආගම්වලට අයිති අය එකිනෙකාව මරාගත්තා. ඔවුන්ට මෙම යුද්ධවලදී ආගමික නායකයන්ගේ ආශීර්වාදයද ලැබුණා. ඒත් එවැනි ක්‍රියා යෙහෝවා දෙවි තරයේ හෙළාදකියි.—තීතස් 1:16; එළිදරව් 17:5, 6; 18:24.

මෙතරම් අපරාධවලට තුඩු දෙන ලෝකයක අපට සාමකාමීව සිටිය හැකිද? ඔව්, එසේ සිටිය හැකියි! ඊළඟ ලිපියෙන් ඒ ගැන සලකා බලමු.

[6වන පිටුවේ කොටුව]

මූලික හේතුව අපේ සිතුවිලියි

විවිධ හේතු නිසා මිනිසුන් අපරාධ කිරීමට පෙලඹුණත් ඊට මූලික හේතුව වන්නේ ඔවුන්ගේ සිතුවිලියි. මිනිසුන්ගේ සිතුවිලි ගැන අවබෝධයක් තිබූ යේසුස් මෙසේ පැවසුවා. “මිනිසුන්ගේ සිතින් හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම, සොරකම, මිනී මැරීම, අනාචාරය, තණ්හාව, දුෂ්ට ක්‍රියා, වංචාව, නින්දිත හැසිරීම, ඊර්ෂ්‍යාවෙන් බැලීම, අපහාස කිරීම, උඩඟුකම, තම මතයේ එල්බගෙන සිටීම යනාදි සියල්ල නික්මෙන්නේ සිතිනුයි.” (මාක් 7:21, 22) අපි බලන, අසන හෝ සිතන දේවල් නුසුදුසු නම් වැරදි සිතුවිලි අප තුළ ඇති වෙයි.—යාකොබ් 1:14, 15.

නමුත් යහපත් දේවලින් එනම් 8වන පිටුවේ සඳහන් වන යහපත් දේවල් හා සමාන දේවලින් අපේ මනස පුරවාගන්නවා නම් නරක සිතුවිලි ‘නැති කර දැමීමට’ අපට හැකි වෙයි. (කොලොස්සි 3:5; ෆිලිප්පි 4:8) එවිට දෙවියන් “ඔහුගේ බලය ලබා දී ඇතුළාන්තයෙන්ම ශක්තිමත්” අය වීමට අපට උපකාර කරයි.—එෆීස 3:16.

[7වන පිටුවේ කොටුව]

විද්වතුන්ටත් ප්‍රහේලිකාවක්

සමහර රටවල සිදු වන මිනී මැරුම් සංඛ්‍යාව වෙනත් රටවල සිදු වන මිනී මැරුම් සංඛ්‍යාවට වඩා 60 ගුණයකින් වැඩි ඇයි? යුද්ධ සහ අපරාධ මිනිස් ඉතිහාසය පුරාම සිදු වී තිබෙන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට කිසිවෙකු සමත් වී නැහැ.

සමහර විද්වතුන් පවසන්නේ දුප්පත්කම හා උස් පහත් භේදය අපරාධවලට හේතුවක් කියායි. සමහර සංඛ්‍යා ලේඛනවලට අනුව සිය දිවි නසාගැනීම් ඇතුළු අපරාධ නිසා සිදු වන මරණවලින් සියයට 90ක් පමණ සිදු වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ඒ වගේම දුගී ජනයා සිටින නගරවල සිදු වන අපරාධ සංඛ්‍යාවත් වැඩියි. ඉන් අදහස් කරන්නේ දුප්පත් මිනිසුන් අපරාධ කිරීමට වැඩියෙන් පෙලඹෙන බවද? නැත්නම් එවැනි රටවල නීති ළිහිල් බවද? එසේනම් අන්ත දුගී ජනතාවක් වෙසෙන ඉන්දියාවේ කල්කටා නගරය ගැන කුමක් කිව හැකිද? ලෝකයේ අපරාධ නිසා සිදු වන මරණවලින් අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එම නගරයෙනුයි.

පහසුවෙන් ගිනිඅවි ලබාගැනීමට ඇති හැකියාව නිසාත් අපරාධ වැඩි වන බවයි සමහරුන්ගේ මතය. දරුණු පුද්ගලයෙකුට ගිනිඅවි ලැබෙන විට ඔහු තවත් දරුණු ක්‍රියා කරන බව ඇත්තයි. ඒත් සමහර ප්‍රදේශවල ගිනිඅවි නැතත් දරුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි ඇයි? ඒ ප්‍රශ්නයේදීත් විද්වතුන් නිරුත්තරයි.