Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

මං ආදර්ශයට ගන්නේ මොන වගේ අයවද?

මං ආදර්ශයට ගන්නේ මොන වගේ අයවද?

මේ ප්‍රශ්නවලට උත්තර හොයමු

ඔයාට ආදර්ශයට ගන්න අයව අවශ්‍ය ඇයි?

ඒ වගේ අයව හොයාගන්නේ කොහෙන්ද?

එයාලගේ ආදර්ශය අදාළ කරගන්නේ කොහොමද?

ඔයාට ආදර්ශයට ගන්න අයව අවශ්‍ය ඇයි?

සැබෑ තත්වය: ඔයා ආදර්ශයට ගන්න අය නිසා ඔයාට හොඳක් හරි නරකක් හරි වෙන්න පුළුවන්.

අවශ්‍ය දේ: ආදර්ශයට ගන්න ඕනේ අනුකරණය කරන්න වටින චරිතයක්.—ෆිලිප්පි 3:17.

ගැටලුව: හුඟදෙනෙක් ආදර්ශයට ගන්නේ ගායකයන්, නළුනිළියන්, ක්‍රීඩකයන් වගේ ප්‍රසිද්ධ අයවයි. සමහරවිට ඔවුන් හොඳ නමක් දිනාගත් අය නෙවෙයි.

මේ ගැන හිතලා බලන්න: අපේ ගතිගුණ බයිබලයේ සමාන කරලා තියෙන්නේ ඇඳුමකටයි. (කොලොස්සි 3:9, 10) ඔයා ඇඳුම් මිල දී ගන්න සාප්පුවකට ගියොත් ඒ සාප්පුවේ පිළිවෙළකට ඇඳලා නැති සේවකයෙක් ඔයාට ගැළපෙන ඇඳුම මේකයි කියලා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? නැහැ. ඒ වගේ තමයි හොඳ නමක් නැති ප්‍රසිද්ධ කෙනෙක්ට පුළුවන් වෙයිද ඔයා මොන වගේ කෙනෙක්ද වෙන්න ඕනේ කියලා ඔයාට කියලා දෙන්න. ඒ නිසා වැඩිදෙනා ආදර්ශයට ගන්න නිසාම කෙනෙකුව ආදර්ශයට ගන්නේ නැතුව ඔයා දියුණු කරගන්න කැමති ගුණාංග තියෙන කෙනෙක්ව තෝරගෙන එයාව ආදර්ශයට ගන්න.

ඒ වගේ අයව හොයාගන්නේ කොහෙන්ද?

මේ අදහස් හරිද, වැරදිද?

1. ඔයා ආදර්ශයට ගන්න කෙනා මූණට මූණ හම්බ වෙලා තියෙන්න ඕනේ.

හරි වැරදි

2. ඔයා ආදර්ශයට ගන්න කෙනා අතින් කිසිම වරදක් වෙන්න බැහැ.

හරි වැරදි

3. ඔයාට කීපදෙනෙක්ව ආදර්ශයට ගන්න පුළුවන්.

හරි වැරදි

උත්තර

1. වැරදියි. ඈත අතීතයේ හිටපු අයව පවා ආදර්ශ හැටියට ගන්න පුළුවන්. ඒ වගේ හොඳ ආදර්ශ ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට බයිබලයේ හෙබ්‍රෙව් පොතේ 11වෙනි පරිච්ඡේදය කියෙව්වොත් දෙවිට විශ්වාසවන්තව හිටපු ආදර්ශවත් පුරුෂයන් හා ස්ත්‍රීන් 16දෙනෙකුගේ නම් හොයාගන්න පුළුවන්. ඒත් ඒ පොතේ ඊළඟ පරිච්ඡේදයේ දෙවිගේ සේවකයෙක් වුණු පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වේ, යේසුස් දෙස “මහත් ඕනෑකමින් බලා” ඔහුව අනුකරණය කරන්න කියලයි. (හෙබ්‍රෙව් 12:2) යේසුස් අපි හැම කෙනෙක්ටම ආදර්ශයට ගන්න වටින විශිෂ්ට චරිතයක්.—යොහන් 13:15. *

2. වැරදියි. යේසුස් හැර කිසිම වරදක් කරන්නේ නැති පරිපූර්ණ කෙනෙක් අපි අතරේ නැහැ. (රෝම 3:23) නිර්භීතව දෙවිගේ පණිවිඩ දන්වපු එලියා පවා ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්’ කියලයි බයිබලයේ සඳහන් වෙන්නේ. (යාකොබ් 5:17) ඒ වගේම බයිබලයේ සඳහන් වෙන මිරියම්, දාවිත්, යෝනා, මාර්තා, පේතෘස් වගේ අය ආදර්ශවත් චරිත වුණත් ඒ අය අතින් පවා වැරදි සිදු වුණා. ඒ වුණාට එයාලගේ ජීවිතවලින් වටිනා පාඩම් රැසක් අපිට ඉගෙනගන්න පුළුවන්.

3. හරි. ඔයාට කීපදෙනෙක්ව ආදර්ශයට ගන්න පුළුවන්. එක් කෙනෙක්ගෙන් කඩිසරකම, තවත් කෙනෙක්ගෙන් ඉවසීම, වෙනත් කෙනෙක්ගෙන් ජීවිතයේ එන ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන විදිහ ඉගෙනගන්න පුළුවන්. (1 කොරින්ති 12:28; එෆීස 4:11, 12) ඒ නිසා හැම කෙනෙක්ගෙම හොඳ පැති දකින්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් ඒවා ආදර්ශයට ගන්න.—ෆිලිප්පි 2:3.

එයාලගේ ආදර්ශය අදාළ කරගන්නේ කොහොමද?

1. හොඳින් බලන්න. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් මේ වගේ දිරිගැන්වීමක් දුන්නා. ‘අප තැබූ ආදර්ශයට අනුව තම ජීවිත ගත කරන අයව සැලකිල්ලට ගන්න.’—ෆිලිප්පි 3:17.

2. ආශ්‍රය කරන්න. ඔයා තෝරගත්තේ බයිබලයේ සඳහන් චරිතයක් නෙවෙයි නම් ඒ අයව ආශ්‍රය කරන්න. බයිබලයේ කියන්නේ, “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලයි.—හිතෝපදේශ 13:20.

3. අදාළ කරගන්න. ඔයා ආදර්ශයට ගන්න කෙනාගේ හොඳ ගතිගුණ ඔයාගේ ජීවිතයෙනුත් පේන්න තියෙන්න ඕනේ. හෙබ්‍රෙව් 13:7 කියන්නේ, “ඔවුන් හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය ආදර්ශයට ගන්න” කියලයි.

පහත සඳහන් ක්‍රියාකාරකම කරන්න.

ඔයාට වැඩක්

ඔයා අනුකරණය කරන්න කැමති ගුණාංගයක් තෝරගන්න. (උදාහරණයකට මිත්‍රශීලීකම, ත්‍යාගශීලීකම, කඩිසරකම, විශ්වාසවන්තකම, හැමෝම එක්ක පෑහිලා ඉන්න විදිහ වගේ දේවල්.)

․․․․․

ඔයා අනුකරණය කරන්න කැමති ගුණාංගය තියෙන කෙනෙක්ව තෝරගන්න. *

․․․․․

අනුකරණය කරන්න වටින කෙනෙක්ව ඔයා තෝරගද්දී එයා වගේම වෙන එක ඔයාගේ ඉලක්කය වෙන්න හොඳ නැහැ. ඔයාට තිබුණු හොඳ ගුණාංගත් ඒ විදිහටම තියෙන්න ඕනේ. හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ව ඔයා ආදර්ශයට ගත්තොත් ඔයත් දවසින් දවස හොඳ පුද්ගලයෙක් වෙයි. ඒ වගේම ඔයා අනිත් අයටත් හොඳ ආදර්ශයක් වෙයි.

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්

[පාදසටහන්වල]

^ 21 ඡේ. මේ කාලේ ජීවත් වෙන අය අතරේ පවා ආදර්ශයට ගන්න පුළුවන් අය ඉන්නවා. උදාහරණයකට අපේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ක්‍රිස්තියානි සභාවේ ඉන්න විශ්වාසවන්ත සේවකයන් වගේ අයව ආදර්ශයට ගන්න පුළුවන්.

^ 32 ඡේ. ඔයා කැමති නම් ඉස්සෙල්ලම කෙනෙක්ව තෝරගෙන ඊටපස්සේ අනුකරණය කරන්න කැමති ගුණාංගයක් තෝරගන්න පුළුවන්. ‘මං එයාට කැමති එයාගේ මොන ගුණාංගය නිසාද’ කියලා හිතලා බලන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හොඳ නමක් නැති ප්‍රසිද්ධ කෙනෙක්ට පුළුවන් වෙයිද ඔයාට හොඳ ආදර්ශයක් වෙන්න

[22, 23වන පිටුවල පින්තූර/කොටුව]

යෞවනයන් පවසන දේ

ලෙයිලා—මගේ යාළුවා සැන්ඩ්‍රා හුඟක් වෙලාවට බලන්නේ හොඳ පැත්ත. එයාට බයිබලයේ තියෙන දේවල් ගැනත් හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ඒක විසඳගන්න හැටිත් එයා දන්නවා. මගේ ඕනම ප්‍රශ්නයක් එයත් එක්ක භය නැතුව කතා කරන්න පුළුවන්.

ටෙරන්ස්—කයිල්ටයි ඩේවිඩ්ටයි අනිත් අයගේ හැඟීම් හොඳට තේරුම්ගන්න පුළුවන්. එයාලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න පැත්තකින් තියලා අනිත් අයට උදව් කරනවා. ඒ දෙන්නා මට හොඳ ආදර්ශයක්.

එමලින්—මං ආදර්ශයට ගන්නේ මගේ අම්මවයි. අම්මට බයිබලය ගැන පුදුම දැනුමක් තියෙන්නේ. හැමතිස්සේම අම්මා එයා විශ්වාස කරන දේවල් අනිත් අයට කියනවා. එයා දේශනා සේවයේ යන එක සලකන්නේ බරක් හැටියට නෙමෙයි. අම්මා ඒක කරන්නේ හරිම ආසාවෙන්. මං ඒක ගොඩාක් අගය කරනවා.

[23වන පිටුවේ කොටුව]

තවත් තොරතුරු දැනගන්න

ආදර්ශවත් අය ගැන තොරතුරු දැනගැනීමට බයිබලයේ හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදය කියවලා කැමති චරිතයක් තෝරගන්න. ඊටපස්සේ ඒ චරිතේ කැපීපෙනෙන ගුණාංග මොනවාද කියලා අධ්‍යයනය කරන්න.

බයිබලයේ සඳහන් චරිත ගැන තව බොහෝ තොරතුරු ඔයාට යොවුන් සිතේ ගැටලු 1වෙනි පොතෙන් හොයාගන්න පුළුවන්. ඒ පොතේ පිටුපස කවරයේ ඇතුල් පැත්තේ “ඔබට ආදර්ශයක්” කියන සූචිය බලන්න.

[23වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

අම්මයි තාත්තයි ඔයාගේ වයසේ ඉන්නකොට එයාලා ආදර්ශයට ගත්තේ කාවද කියලා අහන්න. ඒ වගේම දැන් ආදර්ශයට ගන්නේ කාවද කියලත් අහන්න. ඒක එයාලට ප්‍රයෝජනවත් වුණ විදිහත් අහලා දැනගන්න.