Skip to content

පටුනට යන්න

බියක් දැනීමට හේතු

බියක් දැනීමට හේතු

අප කලින් ලිපියේ සලකා බැලුවේ ලෝක විනාශය ගැන මිනිසුන්ට ඇති විවිධ මනඃකල්පිත අදහස් ගැනයි. නමුත් මිනිසුන් සැලකිලිමත් වන වෙනත් කාරණාද තිබෙනවා. ජනගහනය අධික වීම නිසා ආහාර හා ජල හිඟයක් ඇති වෙයි කියා බොහෝදෙනෙක් කනස්සලු වෙයි. තවත් අය කනස්සලු වන්නේ ලෝක ආර්ථිකය බිඳ වැටීම නිසා සිදු වන මූල්‍යම අර්බුදය ගැනයි. ඒ විතරක් නොවෙයි වසංගත, ස්වභාවික විපත් හා න්‍යෂ්ටික යුද්ධ වැනි දේ පවා මිනිසුන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. එවැනි දේවලින් ලෝක විනාශයක් සිදු විය හැකිද?

අප දැන් ලෝක විනාශයක් සිදු වීමට හේතු විය හැකියි කියා සිතන කාරණා කිහිපයක් ගැන බලමු. එහි සඳහන් ව්‍යසනවලින් මිනිස් සංහතිය මුළුමනින්ම විනාශ නොවුණත් ලෝකයට සැලකිය යුතු විනාශයක් සිදු වෙයි කියා මිනිසුන් සැක කරනවා.

අධිවිනාශකාරී ගිනිකඳු

වර්ෂ 1991දී පිලිපීනයේ පිනාටූබෝ ගිනිකන්ද පුපුරා යෑමෙන් 700දෙනෙකුට වඩා වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර 1,00,000කට පමණ උන්හිටි තැන් අහිමි වුණා. ඉන් ඇති වූ දුම කිලෝමීටර් 30ක් පමණ උසට නැගුණා. ඉන් ඇති වූ යමහල් අළු පොළොවට පතිත වීමෙන් අස්වනු විනාශ වී ගිය අතර ගොඩනැඟිලිවල වහලවල් කැඩී බිඳී ගියා. පිනාටූබෝ සහ වෙනත් ගිනිකඳු පුපුරා යෑමෙන් අනතුරුව ඇති වූ දේශගුණික විපර්යාස අවුරුදු ගණනාවක් පුරා පැවතුණා.

අධිවිනාශකාරී ගිනිකඳු පිපිරීම් ඈත අතීතයේදීත් සිදු වී තිබෙනවා. එවැනි පිපිරීමක් අද සිදු වුණා නම් ඉන් ඇති වන විනාශය මෙතෙකැයි කියා කිව නොහැකියි. එපමණක් නොව මුළු මහත් පොළෝ තලයේම ඇති වන දේශගුණික විපර්යාසයන් නිසා වගාවන් විනාශ වී සාගතයකට මඟ පෑදිය හැකියි.

“සාමාන්‍යයෙන් ගිනිකන්දක් පුපුරා යෑමේදී ඒ අවට සැතපුම් ගණනාවක ජීවත් වන සතුන් හා ශාක විනාශ වෙයි. නමුත් අධිවිනාශකාරී ගිනිකන්දක් පිපිරී ගියා නම් මුළු විශ්වයේම දේශගුණික තත්වය වෙනස් වී ශාක හා සතුන් සියල්ලක්ම විනාශ විය හැකියි.”—“National Geographic.”

උල්කාපාත

වර්ෂ 1908දී සයිබීරියාවේ වනවාරා ප්‍රදේශයේ පුද්ගලයෙක් බිහිසුණු අද්දැකීමකට මුහුණ දුන්නා. පුටුවක හිඳගෙන සිටි ඔහුව එකපාරටම ඈතට විසි වී වැටුණා. ඒත් එක්කම ඔහුගේ කමිසය ගිනිගන්නවා වගේ ඔහුට දැනුණා. එවැනි දෙයක් සිදු වූයේ ඔහු සිටි ස්ථානයේ සිට කිලෝමීටර් 60ක් පමණ එහා පිහිටි වනාන්තරයක මීටර් 35ක පමණ විශ්කම්භයකින් හා බර කිලෝග්‍රෑම් මිලියන 100ක පමණ උල්කාපාතයක් පිපිරීම නිසයි. එම උල්කාපාතයේ පීඩනය හා උණුසුම නිසා එය පෘථිවියට ළඟා වෙනවාත් සමඟ පිපිරී ගියා. එහි ශක්තිය හිරෝෂිමා නගරයට දැමූ බෝම්බය මෙන් 1,000 ගුණයකින් ප්‍රබලයි. එමගින් සයිබීරියානු වනාන්තරයේ වර්ග කිලෝමීටර් 2,000ක පමණ ප්‍රදේශයක් විනාශ වුණා. එසේනම් ඊට වඩා විශාල උල්කාපාතයක් පිපිරුණොත් ඉන් ඇති වන උණුසුමට මුළු විශ්වයේම දේශගුණය වෙනස් වී ශාක හා සත්ව විශේෂ මහා පරිමාණයෙන් වඳ වී යා හැකියි.

“පෘථිවියට උල්කාපාත හා වල්ගා තරුවලින් තර්ජන එල්ල වී තිබෙනවා. ඉදිරියටත් එවැනි තර්ජන එල්ල වෙයි. ඒත් ඒවා සිදු වන්නේ කවදාද කියා කියන්න බැහැ.”—Chris Palma, senior lecturer in astronomy and astrophysics at Penn State University.

දේශගුණික විපර්යාස

ගෝලීය උණුසුමටත්, අසාමාන්‍ය කාලගුණික වෙනස්කම්වලටත්, ග්ලැසියර හා අයිස් කඳු දියවීමටත්, කොරල්පර විනාශ වීමටත් පරිසරයට අත්‍යවශ්‍ය සතුන් විනාශ වී යෑමටත් බලපාන්නේ දේශගුණික විපර්යාස කියා විද්‍යාඥයන් පවසනවා. මේ ගැන විවිධ මත පළ කළත් බොහෝ අය පවසන්නේ වාහන හා කර්මාන්ත ශාලාවලින් විශාල වශයෙන් කාබන්ඩයොක්සයිඩ්, වායුගෝලයට එක් වීම ගැටලුවක් බවයි. මෙය සිදු වන්නේ ගල් අඟුරු, තෙල් සහ ෆොසිල ඉන්ධන දහනයෙනුයි.

සමහර විද්වතුන් පවසන්නේ එලෙස මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් පටලයක් ලෙස වායුගෝලයේ බැඳෙන බවයි. පෘථිවියේ උෂ්ණත්වය වායුගෝලයට මුදාහැරීමට එම පටලය බාධාවක් වන නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ගස් කොළන් කාබන්ඩයොක්සයිඩ් උරාගත්තත් වනාන්තර එළි කිරීම නිසා එම ක්‍රියාවලිය සිදු නොවෙයි.

“ගෝලීය උණුසුම දිගටම ඉහළ යනවා නම්, කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදාහැරීම අවම නොකරනවා නම් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් විශාල වශයෙන් දේශගුණික විපර්යාස සිදු වෙයි කියා විද්‍යාඥයන් පවසනවා. එමෙන්ම මුහුදු ජල මට්ටම ඉහළ ගොස් ඒ අවට ජීවත් වන අයට හානියක් සිදු විය හැකි බවත් ඔවුන් පවසනවා.”—“A Mind for Tomorrow: Facts, Values, and the Future.”

වසංගත

දාහතරවන සියවසේදී මහාමාරිය වසංගතය නිසා වසර දෙකක් වැනි කෙටි කාලයකදී යුරෝපයේ ජනගහනයෙන් තුනෙන් එකක් මිය ගියා. වර්ෂ 1918ත් 1920ත් අතර කාලයේදී ස්පාඤ්ඤ උණෙන් අඩුම තරමින් මිලියන 50ක්වත් මිය යන්න ඇති. ජනගහනය වැඩි නිසාත් ගමනාගමනය දියුණු නිසාත් අද එවැනි දෙයක් අද සිදු වුණා නම් සෑම රටකටම පාහේ රෝග පැතිර යෑමට තිබෙන ඉඩකඩ වැඩියි.

එවැනි වසංගත ස්වභාවිකවම සිදු වන ඒවායි. නමුත් මිනිසා නිපදවන ජීවඅවි ගැන කුමක් කිව හැකිද? ඒ ගැන බොහෝදෙනා පසු වන්නේ බියෙන්. විද්වතුන් පවසන්නේ ජීවඅවි පිළිබඳව දැනුම තිබෙන අයට අන්තර්ජාලය හරහා ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගෙන තමන්ගේ අරමුණු ඉෂ්ට කරගැනීමට හැකි බවයි.

“ස්වභාවිකවම ඇති වන වසංගතවලින් විශාල හානියක් සිදු වෙනවා නම් සතුරෙකුට දැනුම සහ අවශ්‍ය අමුද්‍රව්‍ය තිබෙනවා නම් ඔහු කොතරම් හානියක් සිදු කරයිද කියා සිතා බලන්න.”—The Bipartisan WMD Terrorism Research Center.

අත්‍යවශ්‍ය සතුන් වඳ වී යෑම

ඇමරිකාවේ මීමැසි පාලනයේ යෙදෙන අය පවසන්නේ පසුගිය වසර පහ ඇතුළත සෑම වසරකම මීමැස්සන්ගේ සංඛ්‍යාව සියයට 30කින් පමණ අඩු වූ බවයි. ඊට හේතුව මීමැස්සන් උන්ගේ ජනපද අතහැර යෑමයි. මීමැස්සන්ගෙන් පැණි ලබාගැනීම විතරක් නොව මිදි, ඇපල්, සෝයා බෝංචි සහ කපු වැනි වගාවල පරාගනය සිදු වීමටත් උන් විශාල ලෙස දායක වෙනවා කියා මීමැසි පාලනයේ යෙදෙන අය පවසනවා.

ශාක ප්ලවාංගත් අපට අත්‍යවශ්‍යයි. ඒවා නැත්නම් මාළුත් නැහැ. පණුවන් පස් බුරුල් කරන්නේ නැත්නම් අස්වනු සරු වන්නෙත් නැහැ. එවැනි අත්‍යවශ්‍ය ජීවීන් වඳ වී යෑම ආහාර හිඟ වීමටත් සාගත ඇති වීමටත් හේතු වෙනවා. ආහාර හිඟකම් මඟ පාදන්නේ සැහැසියාවටයි. පරිසර දූෂණය, අධික ජනගහනය, සතුන්ට හිතකර පරිසර විනාශ කිරීම, දේශගුණික විපර්යාස වැනි දේවල් නිසා සත්ව විශේෂ වඳ වී යෑම දහස් ගුණයකින් වැඩි වී තිබෙනවා.

“සෑම වසරකම සත්ව විශේෂ 18,000ත් 55,000ත් අතර සංඛ්‍යාවක් වඳ වී යනවා. මේවාට හේතුව මිනිසායි.”—United Nations Development Program.

න්‍යෂ්ටික යුද්ධ

එක් න්‍යෂ්ටික බෝම්බයකින් නගරයක්ම විනාශ කළ හැකියි. එවැනි කනගාටුදායක සිද්ධීන් දෙකක් 1945 අගෝස්තු මාසයේදී සිදු වුණා. න්‍යෂ්ටික පිපිරීමකින් ඇති වන ව්‍යසනය දරුණු වන්නේ ගින්න, විකිරණ, උණුසුම, වායු පීඩනය වැනි දේවල් නිසයි. එයින් ඇති වන විකිරණ නිසා ආහාර හා ජලය විෂ වෙයි. දූවිලි අංශු ටොන් ගණන් වාතයට එක් වෙනවා. එමගින් ඇති වන දූවිලි පටලය නිසා හිරුරැස් පෘථිවියට පතිත වීම අඩු වී පෘථිවියේ උෂ්ණත්වය පහළ ගොස් ගස් වැල් මිය යයි. ඒ නිසා මිනිසුන්ට සහ සතුන්ට සාගතයෙන් මිය යෑමට සිදු වෙයි. න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට තමන්ට හැකියාව තිබෙන බව රටවල් නවයක් කියා සිටිනවා. ඒ වගේම තවත් රටවල් කිහිපයක් න්‍යෂ්ටික අවිවල තත්වය ඉහළ නැංවීමට ක්‍රියා කරනවා. ත්‍රස්තවාදී සංවිධානවල ඉලක්කය වී තිබෙන්නේ මෙවැනි අවි තමන් සතු කරගැනීමයි.

‘මිනිස් ජීවිතවලට තර්ජනයක් විය හැකි භයානකම අවිය න්‍යෂ්ටික අවියයි. ලොව පුරා න්‍යෂ්ටික අවි 25,000ක් පමණ තවමත් තිබෙනවා. යම් දවසක ත්‍රස්තවාදීන්ගේ අතට න්‍යෂ්ටික අවි පත් වෙයි.’—Union of Concerned Scientists.