Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ග්‍රහයෝ ඔබට බලපෑම් කරනවාද?

ග්‍රහයෝ ඔබට බලපෑම් කරනවාද?

ඔහු මට ආදරෙයිද?

අද මේ ගමන ගියාට කමක් නැද්ද?

මට ඒ රැකියාව ලැබෙයිද?

ඉහත ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට බොහෝදෙනෙක් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ පිහිට පතයි. * ඒත් ග්‍රහ වස්තුවලට ඇත්තටම හැකිද අපේ ජීවිතවලට බලපෑම් කරන්න? ඊට හැකිද අපේ අනාගතය ගැන හෝ අපේ ගතිගුණ ගැන පවසන්න? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

අපේ අනාගතය තීරණය කරන්නේ ග්‍රහ වස්තුද?

සමහර පුද්ගලයන් සිතන්නේ ඔවුන්ගේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයට අනුව කියායි. එනම් ඔහුගේ අනාගතය ඔහු ඉපදෙන විටම තීරණය කර තිබෙනවා කියායි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. උදාහරණයකට තමන්ට නමස්කාර කළ ඊශ්‍රායෙල් ජාතියට දෙවියන් මෙසේ පැවසුවා. “ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි.” ඉන් පැහැදිලි වන්නේ දෙවියන් මිනිසුන්ට ඔවුන්ගේ අනාගතය තෝරාගැනීමට අවස්ථාවක් දී තිබෙන බවයි.—ද්විතීය කතාව 30:19.

ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් පැවසුවේ ඔවුන්ගේ අනාගතය තීරණය වන්නේ ඔවුන් ක්‍රියා කරන ආකාරය අනුව කියායි. ඔවුන් දෙවියන්ගේ ආඥාවලට කීකරු වුණොත් ආශීර්වාදද, අකීකරු වුණොත් ශාපද හිමි වන බව දෙවියන් පැවසුවා.

මේ දේ සිතා බලන්න: ඊශ්‍රායෙල්වරුන්ගේ අනාගතය කලින්ම ලියැවී තිබුණා නම් ජීවිතය තෝරාගන්න කියා දෙවි ඔවුන්ට කියයිද? ඔවුන් අතින් වරදක් සිදු වුණත් එය සිදු වුණේ ඔවුන්ගේ දෛවය නිසා නම් දෙවි ඔවුන්ට දඬුවම් කිරීම සාධාරණද?

බයිබලයේ සඳහන් දෙය පැහැදිලියි. එහි සඳහන් වන්නේ අප වපුරන දේ නෙළාගන්නවා කියායි. එනම් අප තෝරාගන්නා දේ අනුව අපට ප්‍රතිඵල ලැබෙන බවයි.—ගලාති 6:7.

ග්‍රහ වස්තුවල බලපෑම අනුවද අපේ ගතිගුණ පිහිටන්නේ?

මිනිසුන්ගේ අනාගතය කලින්ම තීරණය වී තිබෙනවා යන විශ්වාසය බොහෝ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් අනුමත කරන්නේ නැහැ. එක් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෙක් පවසන්නේ “අනාගතය තිබෙන්නේ අපේ අතේ” කියායි. එහෙත් “යමෙකුගේ ගතිගුණ තීරණය වන්නේ ඔහු උපන් වෙලාව අනුව” කියා ඔහු තවදුරටත් පවසනවා. බොහෝදෙනෙක් එම මතය විශ්වාස කරනවා. ඔවුන් කියා සිටින්නේ තරු සහ ග්‍රහලෝක පෘථිවියට යම් බලපෑමක් කරනවා නම් පෘථිවියේ සිටින මිනිසුන්ටත් එහි බලපෑමක් තිබිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ අදහස කුමක්ද?

බයිබලය යනු මිනිසුන් ගැනත් මේ විශ්වයේ සෑම දෙයක් ගැනත් විස්තර කරන පොතක් නොවෙයි. ඒත් යෙහෝවා දෙවියන් මේ විශ්වයේ ග්‍රහ වස්තු නිර්මාණය කළේ කුමන හේතුවක් නිසාද කියා එහි පැහැදිලි කර තිබෙනවා. ‘දෙවි මෙසේ කීවේය. දවාලත් රාත්‍රියත් වෙන් කරන පිණිස මම අහස්තලයෙහි ආලෝක වස්තූන් තබමි. ඒවා ඍතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය. ඒ ආකාශ වස්තූන්ගෙන් පොළොවට ආලෝකයද ලැබෙන්නේය.’—උත්පත්ති 1:14, 15.

මේ දේ සිතා බලන්න: ග්‍රහ වස්තු නිර්මාණය කළේ අපගේ ගතිගුණවලට බලපෑම් කිරීමට නම් ඒ බව දෙවි අපට නොකියා සිටීවිද?

මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? දෙවියන්, ග්‍රහ වස්තු නිර්මාණය කළේ අපගේ ගතිගුණවලට බලපෑම් කිරීමට නොවෙයි.

මඟ පෙන්වීම් ලබාගැනීමට යා යුතු තැන

අපේ අනාගතය ගැනත් අපි ගැනත් දැනගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් ග්‍රහ වස්තු දෙස බලනවාට වඩා විශ්වාසවන්ත මඟ පෙන්වීම් ලබාගැනීමට මාර්ගයක් තිබෙනවා.

යෙහෝවා දෙවියන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන” සහ ‘මුල පටන්ම ඒ ගැන දැනුම් දුන්’ තැනැත්තා ලෙසයි. (යෙසායා 46:10) මනුෂ්‍ය වර්ගයා සඳහා දෙවියන් අරමුණු කර ඇති දේ ඔහු ළඟදීම ඉටු කරනවා. (යෙසායා 55:10, 11) පැරණි ශුද්ධ පොතක් වන බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ අරමුණ කුමක්ද කියා අපට දැනගත හැකියි. මිනිසුන් මෙතරම් දුක් විඳීමට හේතුවත් එම තත්වය දෙවියන් නැති කරන්නේ කෙසේද කියාත් එහි සඳහන් වෙනවා. *2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4.

අප ගැනත් අපගේ ගතිගුණ දියුණු කරගන්නේ කෙසේද කියාත් දැනගැනීමට හොඳම මඟ පෙන්වීම් තිබෙන්නේ බයිබලයේයි. බයිබලය කියවද්දී අප ගැන ආත්ම සෝදිසියක් කරගැනීමට හැකි වෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවියන් ගැන එහි සඳහන් වන්නේ ඔහු “දයාන්විත,” ‘කෝප වීමට ඉක්මන් නොවන,’ “සමාව දීමට කැමති” දෙවි කෙනෙකු ලෙසයි. (නික්මයාම 34:6; ගීතාවලිය 86:5) අපත් දෙවියන්ව අනුකරණය කරනවාද? අප බයිබලය අධ්‍යයනය කරද්දී අපේ වැරදි සිතුවිලි තේරුම්ගැනීමටත් ඒවා නිවැරදි කරගැනීමටත් හැකියාව ලැබෙනවා. ඊට හේතුව ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ වීමයි. ඒ වගේම ‘එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ප්‍රයෝජනවත්.’—2 තිමෝති 3:16, 17.

ඒ නිසා අපගේ අනාගතය ගැන හෝ අප ගැන දැනගැනීමට ග්‍රහ වස්තු දෙස බැලීම අවශ්‍ය නැහැ.

^ 6 ඡේ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය යනු ග්‍රහ වස්තුවල පිහිටීම, මිනිස් ජීවිත කෙරෙහි බලපාන ආකාරය උගන්වන ශාස්ත්‍රයයි.

^ 19 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න.