Skip to content

පටුනට යන්න

ඉවසීම නැත්නම් . . .

ඉවසීම නැත්නම් . . .

මෙහෙම හිතන්න. කෙනෙක් වාහනයක් පදවගෙන යද්දී ඔහුට ඉස්සරහින් කාන්තාවක් නියමිත වේගයට වඩා ටිකක් අඩුවෙන් වාහනය පදවගෙන යනවා. ඒ වෙලාවේදී මේ පුද්ගලයාගේ ඉවසීම නැතුව යනවා. වාහන ඉස්සර කිරීම ඒ පාරේ තහනම් වුණත් නීතිය නොතකා අවදානම් විදිහට ඔහු වේගය වැඩි කර ඇගේ වාහනය පසු කර යනවා. ඉවසීම නැති වුණොත් මොන තරම් ලොකු හානියක් වෙයිද!

සමහර කාන්තාවන්ට තමන් සමඟ කාර්යාලයේ වැඩ කරන අය ඔවුන් තරම් ඉක්මනින් හා දක්ෂ ලෙස වැඩ කරන්නේ නැත්නම් රතු ඉර පනිනවා. ලිෆ්ට් එකක් එනතුරු ටික වෙලාවක් බලං ඉන්න බැරි පිරිමිත් ඉන්නවා. සමහර විට ඔයාගේ වයසක දෙමාපියන් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න ඔයාට අමාරු ඇති. ඔයාගේ දරුවන් කරන දේවල් නිසා සමහර විට ඔයාට කේන්ති යනවත් ඇති. අනිත් අයගේ අතින් වරදක් වෙද්දී ඔයාට එය දරාගන්න අමාරු වෙන්න පුළුවන්.

ඉඳලා හිටලා අපි හැමෝගෙම ඉවසීම නැති වෙනවා. ඒත් අපි හැමදාම පුපුර පුපුර වැඩ කරනවා නම් ඒක ඇඟට ගුණ නැහැ.

ලෙඩ වැඩි වෙයි

ඉවසීම නැත්නම් ඉක්මනටම කලකිරෙනවා, කේන්ති යනවා. හැමතිස්සෙම ඉන්නේ නුරුස්සන ගතියෙන්. එතකොට දැනෙන මානසික පීඩනය වැඩියි. ඒක අපේ සෞඛ්‍යයට හානියක්. ඉවසීම නැතිකම අධික රුධිර පීඩනයට බලපාන බව ඇමෙරිකාවේ වෛද්‍ය සංගමය මෑතකදී කළ අධ්‍යයනයකින් සොයාගත්තා. එය තරුණ අයටත් බලපාන්න පුළුවන් කියා ඔවුන් පවසනවා.

ඉවසීම නැතිකම තවත් රෝගවලට මඟ පාදන්න පුළුවන්. මෑතකදී කළ අධ්‍යයනවලින් පෙනී ගියේ එය ස්ථුලතාවයටත් හේතු වෙනවා කියලයි. එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “ඉවසීම නැති අය ඉවසිලිවන්ත අයට වඩා ඉක්මනින්ම මහත් වන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.” එහෙම වෙන්නේ ආපනශාලාවලින් ලාභෙට කෑම ගන්න පුළුවන් නිසා කිසිම පාලනයක් නැතුව කෑම කන හින්දයි.—The Washington Post.

වැඩ කල් දමයි

ඉවසීම නැති කෙනෙක් නිතරම වැඩ කල් දාන්න ඉඩ තියෙනවා කියලා ලන්ඩනයේ ආර්ථික විද්‍යා පර්යේෂකයන් අධ්‍යයනයකින් සොයාගත්තා. ඇත්තටම එවැනි පුද්ගලයන් වැඩි කාලයක් ගත වන කාර්යයක් කල් දාන්නේ ඔවුන්ට ඉවසීමෙන් ඒක අවසන් වෙනකම් ඒ වැඩේට ඇලී ඉන්න බැරි නිසාද? හේතුව මොකක් වුණත් වැඩ එලෙස කල් දැමීමෙන් ඒක කරන පුද්ගලයාටත් ආර්ථිකයටත් සිදු වෙන්නේ පාඩුවක්. එර්නස්ටෝ රූබන් නමැති පර්යේෂකයා බ්‍රිතාන්‍ය පුවත්පතක මෙවැනි අදහසක් පළ කළා. “වැඩ කල්දානවා නම් රැකියාවේ පලදායීතාවයට එය බලපානවා. ඒ නිසා විශාල පාඩුවක් සිදු වෙයි.”—The Telegraph.

බීමට ඇබ්බැහි වෙයි, රණ්ඩුවට බරයි

බ්‍රිතාන්‍යය පුවත් පතක සඳහන් කළේ “ඉවසීම අඩු අය මත්පැන් ගැනීමටත් රණ්ඩුවලට පැටලීමටත් ඇති ඉඩකඩ වැඩියි” කියලයි. පුරුෂයන් හා ස්ත්‍රීන් 100දෙනෙකුව යොදාගෙන බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කළ අධ්‍යයනයෙන්ද එය තහවුරු වුණා.—South Wales Echo.

දුර දිග නොබලයි

ඉවසීම නැති අය “දුර දිග බලන්නේ නැතුව මෝඩ තීරණ ගන්නවා” කියා ඇමෙරිකාවේ පිව් පර්යේෂණ ආයතනයේ පිරිසක් සිදු කළ අධ්‍යයනයකින් සොයාගත්තා. ඒ හා සමාන අදහසක් ඉන්දියාවේ භාරතිදාසන් විශ්ව විද්‍යාලයේ මහචාර්යවරයෙක් වන ඉලංගෝ පොන්නුසාමිත් පවසනවා. ඔහු කියන විදිහට “ඉවසීම නැත්නම් වෙන්නේ ලොකු පාඩුවක්. ගන්න මෝඩ තීරණ නිසා මුදලින් පාඩු විඳින්න සිදු වෙයි, හොඳ මිත්‍රත්වයන් නැති වෙයි, වේදනා අද්දකින්න සිදු වෙයි.”

ණය බරින් මිරිකෙයි

ඉවසීම නැතිකම අනවශ්‍ය ණය බරින් මිරිකීමටත් හේතුවක් කියා ඇමරිකාවේ බොස්ටන් නුවර බැංකුවක් කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. උදාහරණයකට අලුතින් විවාහ වන යුවළයන් විවාහ වූ හැටියෙම තමන්ට මුදල් නැතත් ණය වෙලා හරි ගෙවල් දොරවල්, යාන වාහන, බඩුමුට්ටු වගේ දේවල් මිල දී ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයේත් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඇමෙරිකාවේ ආර්කන්සාස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පැවසුවේ “ණය නොවී විවාහ ජීවිතය අරඹන අය ණය බරින් මිරිකී සිටින යුවළයන්ට වඩා සතුටින් ජීවිතය ගත කරන බවයි.”

මෑතක ඇමරිකාවේ ඇති වුණු ආර්ථික බිඳ වැටීමටත් හේතුව ඉවසීම නැතිකම කියා සමහරුන් පවසනවා. එක සඟරාවක සඳහන් කරන්නේ “නොඉවසිලිවන්තකම සහ තණ්හාව ආර්ථික බිඳ වැටීමට හේතුව” කියලයි. හුඟදෙනෙක් තමන්ගේ අතේ ඇති මුදලට වඩා විශාල වශයෙන් ණය වෙලා ඉඩකඩම් මිල දී ගන්නවා. ඒවා පියවන්න සමහර අයට අවුරුදු ගණන් ණය ගෙවන්න සිදු වෙනවා. තවත් අයට එම ණය මුදල් ජීවිත කාලයේදීවත් ගෙවලා ඉවර කරන්න බැහැ.

යාළුවෝ නැති වෙයි

ඉවසීම නැති කෙනාට අනිත් අයත් එක්ක සාකච්ඡාවක් දිගටම ගෙනි යන්න අමාරුයි. ඒ වගේ කෙනෙක් තියෙන හදිස්සියට සමහර වෙලාවට හිතන්නේ බලන්නේ නැතුව කතා කරනවා. අනිත් අය යමක් කියලා ඉවර වෙනකල් ඉවසීමෙන් අහගෙන ඉන්නත් බැහැ. ඔහුට තියෙන හදිස්සිය නිසා අනික් කෙනාගේ කටට වචන දීලා වාක්‍ය සම්පූර්ණ කරයි. නැත්නම් වෙනත් ක්‍රමයකින් හෝ කතාව ඉවර කරන්න හදයි.

ඒ වගේ කෙනෙකුට යාළුවෝ නැහැ. කලින් සඳහන් කළ මනෝ වෛද්‍යවරිය වන ජෙනිෆර් හාට්ස්ටයින් පවසන්නේ “නිතර නිතර ඔරලෝසුවේ වෙලාව බලන කතාව නතර වෙන්නේ කොයි වෙලේද කියා බල බල ඉන්න කෙනෙක් එක්ක මිත්‍රකම් පවත්වන්න කවුරුත් කැමති නැහැ” කියලයි.

මේ ලිපියෙන් බැලුවේ ඉවසීම නැති කෙනෙකුට අද්දකින්න වෙන නරක ප්‍රතිඵල කිහිපයක්. අනිත් ලිපියෙන් අපි බලන්නේ ඉවසීම වර්ධනය කරගන්න කරන්න පුළුවන් දේවල් ගැනයි.