Skip to content

පටුනට යන්න

සිටියත් සීත අරණේ නොදැනේ සීතල

සිටියත් සීත අරණේ නොදැනේ සීතල

සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන ගවයන්ට වඩා කඳුකරයේ වෙසෙන ගවයන්ගේ පෙනුම වෙනස්. උන්ට දිග අං දෙකක් තියෙනවා. දිග ලොම් තියෙනවා. මුහුණට වැටී තියෙන දිග ලොම් නිසා උන්ට තියෙන්නේ දඟකාර පෙනුමක්.

මේ ගව විශේෂය ඉතා ජව සම්පන්න නිසා ස්කොට්ලන්ත කඳුකරයේ සහ දූපත්වල දරුණු දේශගුණයක් තිබුණත් උන්ට එය බලපාන්නේ නැහැ. කඳුකරයේ වෙසෙන ගවයන්ගේ ලොම් රතු පාටයි. උන් ප්‍රමාණයෙන්ද විශාලයි. ඒත් බටහිර මුහුදුබඩ ප්‍රදේශවල වෙසෙන ගවයන් ප්‍රමාණයෙන් කුඩායි, කළු පැහැයට හුරුයි. රතු, කළු, දුඹුරු මෙන්ම සුදු පැහැයට හුරු ගවයන් දැක ගත හැකි වුණත් උන් අයත් වන්නේ එකම වර්ගයකට.

උන්ගේ මුහුණට වැටී තිබෙන කෙස් රොද බැලූ බැල්මට හාස්‍යජනක වුණත් ඉන් උන්ට බොහෝ ප්‍රයෝජන තිබෙනවා. වැස්සෙන්, හිමෙන් හා සීත කාලේදී හමන සුළඟෙනුත් උෂ්ණ කාලේදී කෘමීන්ගෙනුත් ආරක්ෂා වීමට එය උන්ට ප්‍රයෝජනවත්.

අතීතයේදී උන්ව බලා කියා ගත් අය රාත්‍රි කාලේදී තමන්ගේ නිවෙස් අසල ගලින් නිම වූ මඩුවක උන්ව ගාල් කළා. එහෙම කළේ දරුණු කාලගුණික තත්වයන්ගෙන් හා වෘකයන්ගෙන් උන්ව ආරක්ෂා කරගැනීමටයි.

අගනා කබායන්

දඟකාර පෙනුමක් තිබෙන මෙම ගවයන්ට ලොම් තට්ටු දෙකක් පිහිටා තිබීම තවත් විශේෂත්වයක්. සමහර ගවයන්ගේ උඩ ලොම් තට්ටුව අඟල් 13ක් විතර දිගයි. දිලිසෙන එම ලොම් තට්ටුවේ තිබෙන සුසිනිඳු බව නිසා වතුර හෝ හිම රැඳෙන්නේ නැහැ. යටින් තියෙන ලොම් තට්ටුවෙන් උන්ට උණුසුමක් ලැබෙනවා.

කාලයක් තිස්සේ මේ ගවයන්ව රැකබලා ගත් ජීම් මෙහෙම කියනවා. “උන්ගේ ලොම්වලට ලේසියෙන් වතුර උරාගන්නේ නැති නිසා උන්ට සබන් ගාලා නාවන එක හරිම අමාරුයි.” කඳුකර ප්‍රදේශයන්වලට ඇද හැළෙන වැසි සහ ගල් ගැහෙන තරම් සීත කාලගුණික තත්වයන් නිසා වෙන කිසිම ගව විශේෂයකට ඒ ප්‍රදේශවල ජීවත් වෙන්න බැහැ. ඒත් මේ ගවයන්ට නම් ඒවා ඇඟට දැනෙන්නෙවත් නැති තරම්.

ගිම්හාන කාලෙදි රස්නේ වැඩි වුණොත් උන්ගේ උඩ ලොම් තට්ටුව හැළෙනවා. ආපහු සීත කාලය එද්දී අලුත් ලොම් තට්ටුවක් වැවෙනවා.

පරිසරයට දායාදයක්

සාමාන්‍යයෙන් බැටළුවන් දළු, රිකිලි, මුල් සියල්ලම කෑමට ගන්න නිසා පැළ ඔක්කොම විනාශ වෙනවා. ඒත් මේ ගවයන් තණකොළ කන ගමන් උන්ගේ හොම්බෙනුයි අන් තට්ටුටෙනුයි අනවශ්‍ය පැළෑටි වර්ග ඉවත් කරනවා. ඒ නිසා තණකොළවලට ආයෙත් සරුවට වැඩෙන්න අවස්ථාව ලැබෙනවා.

උන්ගේ ලොම් තට්ටු දෙක නිසා ශරීරයේ උණුසුම පවත්වාගන්න වෙනම මේද තට්ටුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා උන්ගේ මස්වල මේදය හා කොලෙස්ටරෝල් තියෙන්නේ සුළු වශයෙන් වුණත් ප්‍රෝටීන් හා යකඩවලින් නම් අනූනයි. පෝෂ්‍යදායි මස් ලබාගැනීමට හැකි උන්ව ඇතිදැඩි කිරීමට නම් ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ.

පරිස්සමෙන්!

මේ ගවයන් හා මිනිසුන් අතර තිබෙන්නේ පුදුම බැඳීමක්. අතීතයේදී ස්කොට්ලන්ත ජාතිකයන් ඒ අයගේ නිවෙස්වල පහළ තට්ටුවේ මේ ගවයන්ව ගාල් කළා. ඒ නිසා උඩ තට්ටුව ඉබේම උණුසුම් වුණා.

ගෙවල්වල ඇති කරන ගවයන් මිනිසුන්ට හීලෑ වුණත් සමහර අවස්ථාවලදී උන් දරුණුයි. උදාහරණයකට එළදෙනෙක් පැටියෙක් බිහි කරපු මුල් කාලයේදී ඒ වගේ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගව පට්ටියක් ඉන්න කොට උන්ගේ මැදින් ගමන් කරනවාට වඩා වටෙන් යන එක නුවණට හුරුයි.

මේ ගවයන්ගෙන් ප්‍රයෝජන රැසක් තියෙන නිසා උන් ලෝක ප්‍රසිද්ධයි. ඇලස්කාව, ස්කැන්ඩිනේවියාව වගේ රටවල විතරක් නෙවෙයි අඩි 10,000ක් උස ඇන්ඩීස් කඳුවැටියෙත් උන්ව දැකගන්න පුළුවන්. ඒ වගේ සීතල ප්‍රදේශවල විතරක් නෙවෙයි උෂ්ණාධික ප්‍රදේශවලත් උන් ජීවත් වෙනවා.

අදින් පස්සේ ඔබට ස්කොට්ලන්තය ගැන අහන්න ලැබෙද්දී මේ දඟකාර පෙනුමක් ඇති ගවයන්වත් ඔබේ මතකයට නැඟෙන බවට සැකයක් නැහැ.