Skip to content

පටුනට යන්න

භාෂාවන්ට තෝතැන්නක් වූ කඳු වැටිය

භාෂාවන්ට තෝතැන්නක් වූ කඳු වැටිය

ලංකාව මෙන් අට ගුණයක් පමණ විශාල භූමි ප්‍රදේශයක පැතිරී තිබෙන දැවැන්ත කඳු වැටියක් සිතින් මවාගන්න. ජාතීන් බොහෝමයක් එහි ජීවත් වෙනවා. ඔවුන් කතා කරන්නේ එකිනෙකට වෙනස් භාෂායි. සමහර ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අල්ලපු ගමේ භාෂාව තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් හිතාගන්නවත් පුළුවන්ද! අතීතයේ හිටිය භූගෝලය හදාරපු අය පවා ඒ ගැන පුදුම වුණා. අපි කතා කරන මේ මිනිසුන් ජීවත් වෙන කඳු වැටිය කොකේසස් කඳු වැටියයි.

මේ කඳු වැටිය පිහිටලා තියෙන්නේ කලු මුහුදත් කැස්පියන් මුහුදත් අතරයි. එහි පිහිටීම නිසා සංචාරකයන්, විදේශිකයන් හා වෙළඳුන් එම ප්‍රදේශයට ආකර්ශණය වුණා. මේ හේතුව නිසා විවිධ සංස්කෘතීන්ගෙන් ගහන තැනක් බවට මෙය පත් වුණා. මේ කඳුකරයේ වෙසෙන ජනයා ප්‍රසිද්ධියක් උසුලන්නේ වැඩිහිටියන්ට ගරු කරන, ආගන්තුක සත්කාර කරන හා නැටුමට ආශාවක් දක්වන අය ලෙසයි. නමුත් ඒ ප්‍රදේශයට එන අමුත්තන් වැඩියෙන්ම පුදුම වෙන්නේ එහි ජීවත් වෙන විවිධ ජන පිරිස් සහ විවිධ භාෂා නිසයි. ඒ ප්‍රදේශය තරම් විශාල රටවල් යුරෝපය පුරා තිබුණත් ඒ එකකවත් එතරම් භාෂා ප්‍රමාණයක් නැහැ.

මෙහෙමත් විවිධත්වයක්

කිස්තු පූර්ව හාරසිය ගණන්වල සිටි හෙරෝඩටස් නමැති ග්‍රීක ඉතිහාසඥයා මෙහෙම කිව්වා. “කොකේසස් කඳු පන්තියේ හැම වර්ගයකටම අයිති මිනිස්සු ජීවත් වෙනවා.” මුල් සියවසේ සිටි තවත් ග්‍රීක ඉතිහාසඥයෙක් වන ස්ට්‍රාබෝ ඒ ප්‍රදේශයේ ජීවත් වුණ ගෝත්‍ර 70ක් ගැන ලිව්වා. ඒ ගෝත්‍රිකයන් ඔවුන්ටම ආවේණික භාෂාවක් කතා කළ බවත් වෙළඳාම් කිරීමට කළු මුහුද ආශ්‍රිත ඩයස්කූරියස් (වර්තමාන සොකුමි නගරය ඇති තැන) කියන ස්ථානයට පැමිණි බවත් ඔහු සඳහන් කළා. ඉන් දශක කිහිපයකට පසු රෝම විශාරදයෙක් වුණ ජ්‍යෙෂ්ඨ ප්ලිනි ලිව්වේ රෝම ජාතිකයෙක්ට ඩයස්කූරියස්වල වෙළඳාමක් කරන්න පරිවර්තකයන් 130දෙනෙක්වත් සිටිය යුතු බවයි.

කොකේසස් කඳුකරයේ අදටත් ජන පිරිස් 50කටත් වැඩිය ඉන්නවා. තමන්ටම ආවේණික වූ සංස්කෘතිය, ඇඳුම් පැළඳුම්, කලාව හා ගෘහ නිර්මාණ ගැන ඔවුන් කතා කරන්නේ හරිම ආඩම්බරෙන්. ඒ අය අඩුම තරමින් භාෂා 37ක්වත් කතා කරනවා. එයින් සමහර භාෂා දස ලක්ෂ ගණනක් විසිනුත් තවත් ඒවා ගම් කිහිපයක වෙසෙන අය විසිනුත් කතා කරනවා. මේ අතරින් භාෂා වැඩි ගණනක් කතා කරන්නේ කොකේසස් කඳුකරයේ රුසියාවට අයිති ඩැගෙස්ටන් ජනරජයේ අයයි. එහි භාෂා 30ක් පමණ කතා කරනවා. මේ භාෂා ආවේ කොහෙන්ද? අනිත් භාෂා එක්ක ඒවාට තියෙන සම්බන්ධය මොකක්ද? කවුරුත් තාම ඒක දන්නේ නැහැ.

මේ කඳුකරයේ ජීවත් වෙන ජනයා කතා කරන භාෂා මොන වගේද කියලා දැනගන්න කැමතිද? එහෙම නම් භාෂා 400කට වඩා වැඩි ගණනකින් පොත්පත් බෙදා හරින www.pr418.com යන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ භාෂා 400 අතරට කොකේසස් කඳුකරයේ ජීවත් වෙන ජනයා කතා කරන සමහර භාෂාද ඇතුළත්.