Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 8වෙනි කොටස

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 8වෙනි කොටස

පිබිදෙව්! සඟරාවේ පළ වූ කොටස් අටකින් යුත් ලිපි මාලාවේ අවසාන ලිපියයි. මෙහිදී සාකච්ඡා කළේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:10) මීට වසර දෙදහසකට පමණ පෙර යේසුස් ඔහුගේ ගෝලයන්ට යාච්ඤා කරන්න ඉගැන්වූවේ එලෙසයි. එදා පටන් සෑම ක්‍රිස්තියානියෙකුම වාගේ දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරයි.

මේ රාජ්‍යය කුමක්ද? එය දෙවිගේ ආණ්ඩුවයි. ලෝකයේ තිබෙන සියලුම ආණ්ඩු නැති කර දමනු ලබන්නේ එම ආණ්ඩුව මගිනුයි. දේවාණ්ඩුවේ රජ වන යේසුස් ස්වර්ගය හා පොළොව සඳහා වූ දෙවියන්ගේ සියලු සැලසුම් ක්‍රියාත්මක කරයි. (දානියෙල් 2:44; 7:13, 14) දෙවි තම නියමිත කාලයේදී මේ ලෝකයේ තිබෙන සියලුම දුක් වේදනා නැති කර දමයි. ඉන්පසු ඔහුට නමස්කාර කරන ‘මහත් සමූහයකට’ එනම් ගණන් කළ නොහැකි පිරිසකට සහනය ලබා දෙයි. (එළිදරව් 7:9, 10, 13-17) ඒ කාලයේදී “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

ක්‍රිස්තුස්ගේ පාලනය යටතේදී මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද ගැන දැන ගත හැකිද? ඔව්, දැන ගත හැකියි. යේසුස් මේ ලෝකයේ සිටි කාලයේදී මිනිස් වර්ගයාගේ ප්‍රශ්න ගැටලු විසඳීමට ඔහුට තිබුණු ආශාවත් හැකියාවත් විදහා පෙන්නුවේය. මේ ලිපියෙන් සලකා බලන්නේ යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස මේ ලෝකය පාලනය කරන විට ඔහු ඉටු කරන දේවල් ගැන ලියැවී තිබෙන අනාවැකි හතරක් සහ ඒවා ඔහුට කළ හැකි බවට සාක්ෂියි.

1වෙනි අනාවැකිය:

‘යෙහෝවා දෙවි, පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.ගීතාවලිය 46:8, 9.

ඉටු වීම: “සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස් මුළු ලොවටම සාමය ගෙන එයි. ලොව පුරා සිදු කරන අධ්‍යාපනික වැඩසටහන් සහ නිරායුධකරණ වැඩ පිළිවෙළ මගින් දේවරාජ්‍ය, මුළු මහත් මිනිස් ජාතියම එක පවුලක් ලෙස ජීවත් වීමට සලස්වයි.—යෙසායා 2:2-4; 9:6, 7.

ඉතිහාසයෙන් සාක්ෂි:

යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ආයුධ අතට නොගන්න කියායි. තම අසල්වැසියන් සමඟ සාමයෙන් ජීවත් වන්න කියා ඔහු ඔවුන්ට ඉගැන්නුවේය. වරක් ඔහුගේ අනුගාමිකයෙක් ඔහුව ආරක්ෂා කිරීමට ආයුධයක් ගත් විට යේසුස් මෙසේ කීවේය. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙව් 26:51, 52) යේසුස් පැවසුවේ සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනා ගන්නේ ඔවුන් එකිනෙකාට පෙන්වන ප්‍රේමය තුළින් කියායි.—යොහන් 13:34, 35.

2වෙනි අනාවැකිය:

පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි. සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.”—ගීතාවලිය 72:16.

ඉටු වීම: දේවරාජ්‍ය මගින් මන්ද පෝෂණය, ආහාර හිඟය සහ සාගින්න නැති කර දමයි. හැමෝටම අවශ්‍ය තරම් කෑම තිබෙයි.

ඉතිහාසයෙන් සාක්ෂි:

යේසුස්ට කුසගින්නේ සිටි ජනයා කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති විය. විශාල සෙනඟකට ආශ්චර්යවත් ලෙස ආහාර දීමට ඔහුට තිබූ හැකියාව පුදුම දනවන සුළුයි. මෙය ඇසින් දුටු කෙනෙක් වාර්තා කළේ මෙසේයි. ‘යේසුස් සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහක් හා මසුන් දෙදෙනෙක් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය. සෑමදෙනාම කා තෘප්තියට පැමිණියහ. පසුව ගෝලයෝ ඉතුරු වූ කෑමවලින් කූඩ දොළහක් පුරවාගත්හ. ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.’—මතෙව් 14:14, 19-21.

3වෙනි අනාවැකිය:

“කිසිවෙකුවත්, “මා ලෙඩින්” යයි පවසන්නේ නැත.” (යෙසායා 33:24) “අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.”—යෙසායා 35:5, 6.

ඉටු වීම: දෙවිගේ රාජ්‍යය මේ ලෝකය පාලනය කරන කාලයේදී සියලු ලෙඩ දුක් සහ අබලදුබලකම් සම්පූර්ණයෙන්ම නැති වී යයි. අන්ධ අයට පෙනීම ලැබෙයි. බිහිරි අයට කන් ඇසෙන අතර කතා කිරීමට හැකි වෙයි. කිසිම කෙනෙකු අසනීප නොවන නිසා ඖෂධවල පිහිට පැතීමට සිදු වන්නේ නැත. රෝහල් හා වෛද්‍යවරුන් අවශ්‍ය වන්නේද නැත.

ඉතිහාසයෙන් සාක්ෂි:

යේසුස් ජනයාට දේවරාජ්‍යය ගැන ඉගැන්වූ අතර ඔවුන්ට තිබූ සියලු ලෙඩ දුක් හා අබලදුබලකම් සුව කළේය. ඔහු එසේ කිරීමෙන් පෙන්නුම් කළේ රජු ලෙස පොළොව පාලනය කරන කාලයේදී ලෝක ව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වන දෙයයි.—ලූක් 7:22; 9:11.

4වෙනි අනාවැකිය:

‘යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමන්නේය.’—යෙසායා 25:8.

ඉටු වීම: යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය කරන කාලයේදී “සොහොන් ගෙවල්වල සිටින” අය නැවත නැඟිටවනු ලබන අතර ඔවුන් ජීවත් වන්නේ පාරාදීසයක් බවට පත් වන මේ පොළොව මතයි. (යොහන් 5:28, 29) පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වීමට හැකි වන පිණිස යේසුස් මරණය සදහටම තුරන් කර දමයි.—ගීතාවලිය 37:29.

ඉතිහාසයෙන් සාක්ෂි:

යේසුස් මිය ගිය පුද්ගලයන් තුන්දෙනෙකුට නැවත ජීවිතය ලබා දුන් බවට බයිබලයේ වාර්තා වෙයි. (ලූක් 7:11-15; 8:41-55; යොහන් 11:38-44) යේසුස්වද මළවුන්ගෙන් නැවත නැඟිටුනු ලැබීය. එය ඇසින් දුටු සාක්ෂිකරුවන් 500දෙනෙක් පමණ සිටියි.—1 කොරින්ති 15:3-8.

කොටස් අටකින් යුත් මෙම ලිපි මාලාවේදී බයිබලයේ සඳහන් වී තිබුණු අනාවැකි බොහොමයක් ඉටු වූ ආකාරය ගැන සලකා බැලුවෙමු. ඒ සෑම දෙයකින්ම ඔප්පු වන්නේ බයිබලය මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවෙන් ලියැවුණු පොතක් නොවන බවයි. එය දෙවිගේ බලයෙන් ලියැවුණු බවට පැහැදිලි සාක්ෂි තිබේ. ඒ නිසා කිසිම සැකයකින් තොරව “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි” කියා කිව හැකියි.—2 තිමෝති 3:16.

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් පොතක් නිසා මේ පොරොන්දු ගැනත් ඔබට විශ්වාසය තැබිය හැකියි. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.