Skip to content

පටුනට යන්න

මකුණු වදේ හිසට රදේ

මකුණු වදේ හිසට රදේ

මකුණු උවදුරෙන් මිනිසා ගොඩ ආවා කියලා විසිවෙනි සියවසේ මැද භාගය වෙද්දී කවුරුත් හිතුවා. ඒ කාලේ මකුණු මර්දකයක් විදිහට DDT කියන රසායනික ද්‍රව්‍ය හරි හරියට පාවිච්චි කළා. ඒ බෙහෙත මකුණාගේ සතුරා වුණත් ඒක විෂ සහිත වගේම පරිසරයට ලොකු හානියක් කළ නිසා 1970 ගණන්වලදී එහි පාවිච්චිය පාලනය කරන්න ගොඩක් රටවල් තීරණය කළා.

මකුණන්ව මරා දාන්න නොයෙකුත් බෙහෙත් වර්ග පාවිච්චි කළත් කල් යනකොට උන් ඒවාට හුරු වුණා. ගමන් බිමන් යද්දී මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් සහ බඩු මුට්ටු උන්ගේ ප්‍රවාහන මාධ්‍ය වුණා. ප්‍රතිඵලය මොකක්ද? වර්ෂ 2012දී මකුණු මර්දනය ගැන සකස් කළ වාර්තාවක කියලා තිබුණේ “පසුගිය අවුරුදු 12 ඇතුළත එක්සත් ජනපදයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සමහර රටවල, අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල වගේම මැද පෙරදිගත් මකුණා යළි හිස ඔසවලා තියෙනවා” කියලයි.

මෑත අවුරුද්දක රුසියාවේ මොස්කව් නගරයේ මකුණු ගහනය කලින් අවුරුද්දට වඩා දහගුණයකින් වැඩි වෙලා. ඕස්ට්‍රේලියාවේ මකුණු වසංගතේ 1999 ඉඳලා සීයට 5000කින් විතර ඉහළ ගිහින්.

කඩේ, චිත්‍රපටි ශාලාවේ පුටුවල, හෝටල්වල ඉන්න මකුණන්ව දන්නෙම නැතුව අපි ගෙදර අරං එනවා. ඇමරිකාවේ හෝටල් අයිතිකාරයෙක් මෙහෙම කිව්වා. “හෝටල් බිස්නස් එක කරගෙන යද්දී සැරින් සැරේ මකුණු කරදරේට මූණ දෙන්න වෙනවමයි.” මකුණන්ව මුලින් උපුටා දමන එක ඒ තරම්ම අමාරු ඇයි? උන්ගෙන් ආරක්ෂා වෙන්න ඔයාලට පුළුවන් කොහොමද? උන් ඔයාලගෙ නිවස ආක්‍රමණය කළොත් උන්ව ගෙයින් දොට්ට දාන්නත් පැත්ත පළාතෙ එන්න නොදෙන්නත් කරන්න පුළුවන් මොනවද?

හරිම පොඩි එකා තමයි!

ඇපල් ඇටයක් තරම් පොඩි පැතලි සිරුරක් ඇති ලේ උරා බී හැදෙන මේ පොඩි සතාට ඕන තැනක හැංගිලා ඉන්න පුළුවන්. කොට්ට, මෙට්ට, ලී බඩු, විදුලි පේනු වගේම දුරකතන අස්සෙත් උන් රිංගගෙන ඉන්නවා. මකුණා කෑමට හොයාගෙන එන්නේ අපිව. * ඒ නිසා උන් නවාතැන් ගන්නේ අපිට වැඩි ඈතකින් නෙමෙයි, අඩි 10ක් 20ක් විතර එහායින්. මොකද කෑම ටික ලඟින් තියනවානම් හොඳයිනෙ!

මකුණා ලේ බොන්න සමාන්‍යයෙන් එළියට එන්නෙ සතෙක් හරි මිනිහෙක් හරි නිදාගෙන ඉන්න වෙලාවට. කාටත් නොදැනෙන්න මකුණා වැඩේ කරනවා. ඌ මුලින්ම වේදනාව වළක්වන දෙයක් ඇඟට විදිනවා. එතකොට විනාඩි දහයක් විතර කාගෙන්වත් බාධාවක් නැතුව සැපට ලේ ටික උරන්න ඌට පුළුවන්. මකුණා සාමාන්‍යයෙන් සතියට සැරයක් විතර බඩ පුරෝගත්තත් වේලක්වත් නැතුව මාස ගාණක් ඉන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.

මදුරුවෝ සහ වෙනත් කෘමීන්ගෙන් වගේ මකුණන්ගෙනුත් රෝග බෝ වෙනවා කියලා හොයාගෙන නැහැ. ඒත් උන් කෑවම කසන කැසිල්ල හින්දා හමේ කැළැල් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හුඟදෙනෙකුට ඒක මානසිකවත් බලපානවා. ඒ අයට ලැජ්ජාව දරාගන්න බෑ. රෑට හරියට නින්ද යන්නෑ. මකුණෙක් කාලා හුඟ වෙලාවක් ගියාට පස්සෙත් සමහරුන්ට මකුණො කනවා වගේ දැනෙනවා. සියෙරා ලියොන් කියන රටේ එක වාර්තාවක් මකුණාව හඳුන්වලා තියෙන්නෙ “නින්ද කඩන වදකාරයෙක්” විදිහටයි. මකුණො ඉන්නවා නම් ඒක “ඒ පළාතටම අවනම්බුවක්” කියලත් ඒකෙ සඳහන් වුණා.

මකුණු පාලනය

මකුණාව පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ගෙදරදිත් ගමනක් බිමනක් ගියාමත් උන් ඉන්න බවට තියෙන ලකුණු හඳුනගන්න. ඇඳ, පුටු, කොට්ට මෙට්ට, ගමන් මලුවල වගේම වෙනත් අහුමුලුවල පුංචි තිතක් තරම් බිත්තර හරි ලේ සලකුණු හරි තියෙනවද බලන්න. හැබැයි ඒවා හොයාගන්න ටෝච් එකක් පාවිච්චි කරන්න වෙයි.

උන්ට රිංගන්න පුළුවන් තැන් හැකි තරම් අඩු කරගන්න. බිත්තිවල දොර අහුමුලුවල තියෙන කඩතොලු වහලා දාන්න. මකුණො බෝ වෙන්නෙ අපිරිසිදුකම නිසාම නොවුණත් ගේදොර හොඳට පිරිසිදුව තබාගැනීමෙන් හෝ වැකියුම් කිරීමෙන් උන්ව පාලනය කරන්න පුළුවන්. ඔයාලා හෝටලේක නතර වෙලා ඉඳලා එහෙ ඉන්න මකුණන්ව ගෙදර ගෙනියන්න කැමති නැත්නම් ගමන් මලු බිම හරි ඇඳ උඩ හරි තියෙන එකෙන් වළකින්න.

ගේ ආක්‍රමණය කරලා නම්

ඔයාලගේ කාමරේ නැත්නම් නිවාඩුවට ගිහින් නැවතුණු හෝටල් කාමරේ මකුණො හිටියොත් ලොකු අපහසුතාවක් වගේම ලැජ්ජාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඩේව් එයාගේ බිරිඳත් එක්ක නිවාඩුවකට ගියා. එහෙදි දෙන්නව හොඳටම මකුණො කාලා ඇඟේ තුවාලත් හැදුණා කසලම. ඩේව් කියනවා “හරි වැඩේ දැන් යාළුවෙක්ටවත් ගෙදරට එන්න කියන්න බෑ. නිකන්වත් එයාගේ ඇඟේ කොහේ හරි කසන්න ගත්තොත් එයා හිතයි අපේ ගෙදර හිටපු මකුණෙක් කෑවා කියලා.” එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ලැජ්ජාව නිසා කාටත් නොකියා උන්ව මර්දනය කරන්න පියවර නොගෙන ඉන්න එපා. නිව් යෝක් නගරයේ සෞඛ්‍යය හා මානසික සුවය පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙම කියනවා. “මකුණන්ව නැති කරන්න අමාරු වුණත් බැරිකමක් නැහැ.”

මකුණට හැංගි මුත්තං කරන්න ඉඩ දෙන්න එපා

ඒත් උන්ව සහමුලින්ම වනසන එක නම් ලේසි නැහැ. ගෙදර මකුණො ඉන්නවා නම් කෘමි මර්දන සමාගමකට කතා කළොත් එයාලට පුළුවන් වෙයි ගත යුතු පියවර කියා දෙන්න. එයාලා සාර්ථක ක්‍රම කිහිපයක්ම පාවිච්චි කරනවා. කීට විද්‍යාඥයෙක් මෙහෙම කියනවා. “මකුණො පාලනය කරන්න නම් ගෙවල් සහ බිල්ඩිං අයිතිකාරයො, ඒවායේ පදිංචි වෙලා ඉන්න අය වගේම කෘමි මර්දන සමාගම් සහයෝගෙන් වැඩ කරන්න ඕනෙ.” විශේෂඥයන් දෙන උපදෙස් පිළිපැදලා අපේ පැත්තෙන් ආරක්ෂා වෙන්න පියවර ගත්තොත් අපිටත් පුළුවනි මකුණු වදෙන් මිදෙන්න!

^ 7 ඡේ. මකුණා ගෙදර දොරේ හැදෙන අනිත් ක්ෂීරපායි සතුන්ගෙත් ලේ උරා බොනවා කියලා කීට විද්‍යාඥයන් කියනවා.