Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

කාලය වටියි රනට වඩා

කාලය වටියි රනට වඩා

“මේ වැඩ ටික ඉවර කරගන්න පැය විසිහතරත් මදි!” ඔබ කී ගමනක් ඔය කතාව කියලා ඇද්ද? කාලය මදිකම හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපේ පැරැන්නෝ කාලය රන් හා සමානයි කියලා කියන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. පොහොසතෙක් වුණත් දුප්පතෙක් වුණත් හැමෝටම තියෙන්නේ පැය විසිහතරයි. කාටවත් වැඩියෙන් ලැබෙන්නේවත් වැඩියෙන් ලබාගන්නවත් බැහැ. ඒ නිසා අපිට තියෙන කාලය හොඳින් පාවිච්චි කිරීමේ කලාව අපි ඉගෙනගන්න ඕනේ. අපිට මොනවද කරන්න පුළුවන්? මෙන්න ඒ සඳහා ප්‍රායෝගික යෝජනා හතරක්!

1. සැලසුම් කරන්න

වැදගත් දේට මුල් තැන දෙන්න. ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ෆිලිප්පි 1:10) කරන්න තියෙන වැදගත් හෝ හදිසි වැඩ මොනවාද කියලා කොළයක ලියන්න. උදාහරණයකට, රෑ කෑමට බඩු ගන්න එක උදෙන්ම කරන්න තරම් හදිසි දෙයක් නෙමෙයි. නමුත් ලයිට් බිලක්, වතුර බිලක් ගෙවන්න තියෙනවා නම් ඒක කලින්ම කරන්න ඕන කියලා කොළේ ලියාගන්න එක නුවණට හුරුයි. *

කල්තියා සැලසුම් කරන්න. ‘යකඩ ආයුධයක් මොට්ට වූ විට එය මුවහත් නොකර භාවිත කරන්නේ නම් ශක්තිය නිකරුණේ වැය කිරීමට සිදු වෙයි. එලෙසම, ප්‍රඥාව නිසි ලෙස යොදා නොගන්නේ නම් එයින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකියි’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 10:10) වැඩේට කලින් ආයුධය මුවහත් කරලා තියාගන්නවා නම් වැඩෙත් පහසුයි, කාලයත් ඉතිරියි. අපිත් වැඩ කලින්ම සැලසුම් කරනවා නම් කාලය ඉතිරි කරගන්න අපිට පුළුවන්. අනවශ්‍ය දේවලට වැඩිපුර කාලය වැය වීමත් මඟ හැරෙනවා. ඔබ යම් වැඩක් කලින් ඉවර කළා නම් වෙනත් වැඩකට ඒ කාලය යොදවන්නත් පුළුවන්.

ජීවිතය සරල කරගන්න. කාලය කා දමන ප්‍රයෝජනයක් නැති දේවල් මඟහරින්න. දවසක් ඇතුළත දහසකුත් වැඩ කරන්න සැලසුම් කරන්න එපා. උදාහරණයකට එකම දවසේ පොළට යන්න, වාහනය අලුත්වැඩියා කරන්න, යාළුවෝ එක්ක විනෝද වෙන්න, චිත්‍රපටයක් බලන්න වගේ දේවල් ගොඩක් සැලසුම් කළොත් ඒවා කඩිමුඩියේ කරන්න සිද්ධ වෙන නිසා ඇති වෙන්නේ පීඩනයක් මිසක් සතුටක් නෙමෙයි.

2. කාලය සොරාගන්න ඉඩ දෙන්න එපා

වැඩ කල් දැමීම සහ දෙගිඩියාව. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 11:4) වැඩ කල් දැමීමෙන් වැඩ ගොඩ ගැහෙනවා විතරක් නෙමෙයි කාලයත් නාස්ති වෙනවා. හැම දෙයක්ම හොඳ අතට හැරෙනකම් බලාගෙන ඉන්න ගොවියෙක්ට කවදාවත් වපුරන්න ලැබෙන්නෙවත් අස්වැන්න නෙළන්න ලැබෙන්නෙවත් නැහැ. ඒ හා සමානව අපිත් තීරණයක් ගන්නේ නැතුව දෙගිඩියාවෙන් ඉන්නවා නම් කාලය නාස්ති වීමක් විතරයි වෙන්නේ. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලා හිතෝපදේශ 14:15 සඳහන් වෙනවා. එය ඇත්තක් වුණත් සමහර අවස්ථාවලදී අපිට තීරණ ගන්න සිද්ධ වෙන්නේ හැම තොරතුරක්ම දැනගෙන නෙමෙයි.—දේශනාකාරයා 11:6.

අකුරටම කරන්න උත්සාහ කිරීම. ‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙක් සාධාරණ ලෙස කටයුතු කරනවා’ කියලා යාකොබ් 3:17 සඳහන් වෙනවා. හැම දේම පිළිවෙළට හරියට කරන එක හොඳ දෙයක් වුණත් අපි අන්තයට ගියොත් බලාපොරොත්තු වෙන මට්ටමට දේවල් කරගන්න බැරි වෙනකොට අපි කලකිරෙනවා. උදාහරණයකට අපි අලුත් භාෂාවක් ඉගෙන ගනිද්දී වරද්දන්නේ නැතුව කතා කරන්න උත්සාහ කළොත් කවදාවත් ඒ භාෂාව ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ. බයිබලයේ හිතෝපදේශ 11:2 සඳහන් වෙන්නේ “නිහතමානී අය ප්‍රඥාවන්තය” කියලයි. නිහතමානී කෙනෙක් තමන්ගේ සීමාවන් දන්න නිසා තමා අතින් වරදක් වුණත් ඒ ගැන කලකිරෙන්නේ නැහැ.

“මුදල් වැය කරද්දී අපි වැය කරන්නේ මුදල් විතරක් නෙමෙයි. අපේ කාලයත් වැය කරනවා.”—What to Do Between Birth and Death

3. සමබර වෙන්න

රැකියාව සහ විවේකය. “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:6) රැකියාවට වහල් වෙන කෙනෙක්ට රැකියාවෙන් තොර දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඔහුගේ මුළු කාලය හා ශක්තිය යොදවන්නේ රැකියාවට විතරයි. අනික් අතට කම්මැලි කෙනෙක් කොයි වෙලෙත් බලන්නේ විවේක ගන්නයි. නමුත් බයිබලයේ කියන්නේ රැකියාව සහ විවේක ගැනීම සමබරව කිරීමෙන් ලැබෙන සතුට ‘දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයක්’ කියලයි.—දේශනාකාරයා 5:19.

සුව නින්දක් ලබාගැනීම. සුව නින්දක වටිනාකම ගැන බයිබල් ලේඛකයෙක් පවා සඳහන් කරලා තියෙනවා. (ගීතාවලිය 4:8) වැඩිහිටි පුද්ගලයෙක් පැය 8ක පමණ නින්දක් ලබාගන්නවා නම් ශාරීරිකවත් මානසිකවත් නිරෝගීව ඉන්න ඒක ඔහුට උදව් වෙනවා. ඒත් සුව නින්දක් ලබාගත්තේ නැත්නම් අත්වැරදීම් හා අනතුරු සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නිතරම නුරුස්සන ගතියක් දැනෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ප්‍රයෝජනවත් දෙයක් මිස කාලය අපතේ යැවීමක් නෙමෙයි.

අත් කරගන්න පුළුවන් ඉලක්ක තියාගන්න. “ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 6:9) බුද්ධිමත් කෙනෙක් ඉටු කරගන්න බැරි ආශාවන්වලට තමන්ව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. වෙළඳ දැන්වීම්වලට පහසු ගෙවීමේ ක්‍රමවලට රැවටෙන්නෙත් නැහැ. අත් කරගන්න පුළුවන් දේවලින් ඔහු සෑහීමට පත් වෙනවා.

4. යහපත් සාරධර්ම ඇති කරගන්න

සාරධර්මවල වැදගත්කම. අපේ ජීවිතේට වටින්නේ සහ වැදගත් වෙන්නේ මොනවාද කියලා තීරණය කරන්න අපි තුළ තියෙන සාරධර්මත් උදව් වෙනවා. ඒක මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඔබේ ජීවිතය ඊතලයකට සමාන කළොත් එය විදින්න ඕන හරි ඉලක්කය තීරණය කරන්න උදව් වෙන්නේ සාරධර්මයි. ඔබට හොඳ සාරධර්ම තියෙනවා නම් ඉටු කරගන්න බැරි ඉලක්ක පසුපස හඹාගෙන ගිහින් කාලය නිරපරාදේ නාස්ති කරගන්නේ නැහැ. ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙන එවැනි වටිනා සාරධර්ම, බොහෝදෙනෙක් බයිබලයෙන් හොයාගෙන තියෙනවා.—හිතෝපදේශ 2:6, 7.

අනිත් අයට ආදරය කරන කෙනෙක් වෙන්න. ප්‍රේමය තමයි “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (කොලොස්සි 3:14) අපි අනිත් අයට, විශේෂයෙන්ම අපේ පවුලේ අයට ආදරය කරන්නේ නැත්නම් අපිට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒක තේරුම්ගන්නේ නැතුව සල්ලිවලට, රස්සාවට මුල් තැන දුන්නොත් අපිට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි. ඒ නිසා තමයි බයිබලයේ ප්‍රේමය නැමැති වටිනා ගුණාංගය ගැන නැවත නැවත සඳහන් කරලා තියෙන්නේ.—1 කොරින්ති 13:1-3; 1 යොහන් 4:8.

දෙවියන්ව හඳුනාගන්න කාලය ගන්න. ජෙෆ්, බිරිඳ සහ දරු දෙදෙනා සමඟ සතුටින් ජීවිතය ගත කළ කෙනෙක්. වෛද්‍ය සේවකයෙක් හැටියට රැකියාව කළ ඔහුට හොඳ යාළුවොත් හිටියා. ඒත් ඔහුගේ රැකියාව නිසා මිනිස්සු දුක් විඳින හැටිත්, මැරෙණ හැටිත් නිතරම ඔහු දැක්කා. “ජීවිතය කියන්නේ මේකටද?” කියලා ජෙෆ් කල්පනා කෙරුවා. දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරන පොත් කිහිපයක් කියවූ ජෙෆ්ට ඔහුගේ හිතට වද දුන් ප්‍රශ්න බොහොමයකට උත්තර ලැබුණා.

ජෙෆ් දැනගත්ත දේවල් බිරිඳටත් දරුවන්ටත් කිව්වාම ඔවුන්ටත් ඒ ගැන දැනගන්න ආසාවක් ඇති වුණා. පවුලක් හැටියට බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්ත ඔවුන්ට කාලය නැණවත්ව පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වුණා. බයිබලය ඉගෙනගත්ත නිසා අනාගතයේදී දුක් කරදර නැති පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුවත් ඔවුන්ගේ ජීවිතයට ලැබුණා.—එළිදරව් 21:3, 4.

“දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලා යේසුස් කියපු දේ කොයි තරම් සත්‍යයක්ද කියලා ජෙෆ්ගේ අද්දැකීමෙන් අපිට පැහැදිලි වෙනවා. (මතෙව් 5:3) ඔබත් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න කාලය වෙන් කළොත් ඔබේ ඉදිරි ජීවිත කාලය නැණවත්ව ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබටත් පුළුවන් වෙයි.

^ 5 ඡේ. 2010 අප්‍රියෙල් ‘පිබිදෙව්!’ සඟරාවේ පළ වූ “කාලය සොයාගැනීමට යෝජනා 20ක්” යන ලිපිය බලන්න.