Skip to content

පටුනට යන්න

වන පෙත සුරකින අපේ යාළුවෝ

වන පෙත සුරකින අපේ යාළුවෝ

බීජ නියම ස්ථානයේ නියම කාලයට පැළ කළොත් තමයි වගාවක් සාර්ථක වෙන්නේ කියලා වගා කරන අයගෙන් ඇහුවොත් කියයි. ඒත් ඔයාලා දන්නවාද වෙනස්ම විදිහකට වගා කරන කට්ටියක් වැසි වනාන්තරවල ඉන්නවා කියලා? එයාලා වැඩ කරන්නේ රෑ ජාමේ ඉහළ අහසේ ඉඳගෙනයි. ඒ වවුල් පවුලේ කට්ටියක්. උන්ට කියන්නේ පළතුරු වවුලන් (Pteropus) කියලයි. *

වවන්නේ කොහොමද?

මල් පැණි හා රස පළතුරු තියෙන ගස් හොයමින් පළතුරු වවුලන් රෑ යාමේ කැලේ පුරා සැරිසරනවා. ඒ විදිහට උන් කැලේ පුරා පියාඹද්දී උන් කෑව පළතුරුවල බීජ මලපහ සමඟ පිට කරනවා. ඒ වගේම උන් මල් පැණි බොන අතරේ මල් පරාගනය කරන්නත් උදව් කරනවා.

වවුලන් රාත්‍රියේදී විශාල ප්‍රදේශයක් පුරා සැරිසරන නිසා උන් යන හැම තැනකම බීජ පැතිරෙනවා. ඒ විතරක් නෙමෙයි බීජ පිටවෙන්නේ මලපහ සමඟ නිසා උන් නොදැනීම ඒ බීජ වැඩෙන්න අවශ්‍ය පොහොරත් සපයනවා. වනයේ බොහෝ ගස් වැල් පරාගනය වෙන්නෙත් බීජ පැතිරෙන්නෙත් වවුලන්ගේ ආධාරයෙන්. ඒ නිසා වවුලන් හා ගස් වැල් අතර ඇත්තේ නොබිඳෙනා බැඳීමක්.

වවුලන් වනයේ දුර ඈතට යන නිසා ගමන් මඟ සොයාගැනීමේ හැකියාවක් වගේම හොඳ පෙනීමකුත් උන්ට තියෙනවා. රෑ අඳුරේ එහේ මෙහේ සැරිසරද්දී මිනිසුන්ට වඩා හොඳින් දේවල් දැකගන්නත් වර්ණ හඳුනගන්නත් උන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. අනිත් වවුලන් වගේ නෙමෙයි පළතුරු වවුලන් කිසි අකමැත්තක් නැතුව දවල් කාලයේදීත් එළිමහනට එනවා.

පවුලේ විත්ති

ඔබ දැන සිටියාද? අනිත් වවුලන් කෑම තියෙන තැන් හොයාගන්න ශබ්ද පරාවර්තනය උදව් කරගත්තත් පළතුරු වවුලන් කෑම හොයාගන්නේ පෙනීමෙන් සහ සුවඳින්. උන්ට තියෙන ලොකු ඇස් දෙකත් රාත්‍රි කාලයේදී වැඩකටයුතු කරගන්න උදව් වෙනවා

පළතුරු වවුලන්ගේ පවුලට අයිති තවත් වවුල් විශේෂයක් (Pteropus samoensis) තම ජීවිත කාලය පුරාම පැටවුන් බිහි කරනවා. තවත් විශේෂයක ගැහැනු සතා අලුත උපන් පැටියාව සති කිහිපයක් යන තුරු තමන් ළඟ තියාගෙන ලොකු වෙනකම්ම කිරි දෙනවා. මේ වවුල් පවුලට අයිති තවත් විශේෂ දෙකක්, පැටවුන් බිහි කරද්දී වවුල් වින්නඹුවකගේ උදව්ද ලබාගන්නවා.

මෙම පළතුරු වවුලන් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබිම කනගාටුවට කාරණයක්. ඒකට එක හේතුවක් වෙන්නේ උන් ජීවත් වන වනාන්තර විනාශ කිරීමයි. විශේෂයෙන්ම පැසිෆික් දූපත්වල තියෙන සමහර ශාකවල පරාගනය මුළුමනින්ම වගේ රඳා පවතින්නේ වවුලන් මතයි. ඒ නිසා පළතුරු වවුලන් විනාශ වී යෑම ඒ දූපත්වලට විශාල පාඩුවක්. මේ සෑම දෙයකින්ම පැහැදිලි වෙන්නේ වවුලන් කරන මහඟු සේවය සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි.

^ 2 ඡේ. අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ සමහර පැසිෆික් දූපත්වල මෙම වවුලන් දැකගන්න පුළුවන්.