Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?

දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?

දෙවි කෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නයට උත්තරයක් නැහැ කියලා සමහරු හිතනවා. තවත් අය හිතන්නේ ඒකට උත්තරයක් හොයන එක තේරුමක් නැහැ කියලයි. ප්‍රංශයේ ඉන්න අර්වේ මෙහෙම කියනවා. “මම දෙවි කෙනෙක් නෑ කියන්නෙවත් දෙවියන්ගේ පැවැත්ම ගැන සැක කරන්නෙවත් නෑ. ඒත් මට හිතෙන්නේ අපි ජීවත් වෙන්න ඕන විදිහ දන්නවා නම් ඒ ඇති. දෙවි කෙනෙක් ඕනෙ නෑ කියලයි.”

තවත් අයට ඇමරිකාවේ ජීවත් වෙන ජෝන්ට වගේ හිතෙන්න පුළුවන්. ඔහු කියන්නේ “අම්මලා දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති නිසා මං විශ්වාස කළෙත් නෑ. ඒ නිසා මං තරුණ කාලේ දෙවි කෙනෙක් ඉන්නවද කියලා හරියටම දැනං හිටියේ නෑ. හැබැයි දෙවි කෙනෙක් ඉන්නවද කියලා මං හිතපු වෙලාවලුත් තිබුණා.”

සමහර දේවල් නිර්මාතෘ දෙවි කෙනෙක් ගැන සඳහන් කරන්නේ නැතුව විස්තර කරන්න බැහැ කියලා ඔබටත් හිතිලා ඇති. උදාහරණයකට අජීවී දෙයකින් ජීවයක් ඇති වුණු විදිහ, විශ්වය ක්‍රියාත්මක කරවන භෞතික නීති ඇති වුණ විදිහ වගේ දේවල්.—“ සාක්ෂි හොයලා බලන්න” යන කොටුව බලන්න.

ඒ කරුණු ගැන ටිකක් හිතන්න. දෙවි කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න ඒවා ඔබට උදව් වෙයි. දෙවියන්ව දැනගන්න එක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. දැන් අපි ඒ ගැන කාරණා 4ක් බලමු.

1. ජීවිතයට නියම අරමුණක්

ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම්, අපි ඒ ගැන දන්නේ නැත්නම් අපි ජීවත් වෙන්නේ ජීවිතයේ දැනගන්න ඕන වැදගත්ම දෙයක් නොදැනයි. ඉපදිලා මැරිලා යනවාට වඩා ජීවිතේට ලොකු අරමුණක් තියෙනවා නම් ඒක දැනගන්න එක වැදගත් කියලා ඔබ හිතන්නේ නැද්ද?

බයිබලයේ කියන්නේ ජීවයේ උල්පත දෙවියන් කියලයි. (එළිදරව් 4:11) ඒක දැනගන්න එක අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද?

දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ තමන්ගේ ගතිලක්ෂණ ඇතුව නිසා අපි අනිත් ජීවීන්ට වඩා විශේෂයි. (උත්පත්ති 1:27) ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් තියාගන්නත් පුළුවන්. (යාකොබ් 2:23) කෙනෙක්ට ජීවිතයේ ඇති කරගන්න පුළුවන් හොඳම බැඳීමත් ඒකයි. ඒකෙන් අපේ ජීවිතයට නියම වටිනාකමක් ලැබෙනවා.

දෙවියන්ගේ මිතුරෙක් වීමෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? දෙවියන්ගේ මිතුරන්ට පුළුවන් තමන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න. අනිත් අතට ඔවුන් කියන දේවල්වලට සවන් දෙන්නත් අවශ්‍ය උපකාර ලබා දෙන්නත් දෙවියන් පොරොන්දු වෙනවා. (ගීතාවලිය 91:15) ඒ විතරක් නෙමෙයි දෙවියන්ගේ මිතුරන් හැටියට ඔහුට ළං වුණාම අපිට පුළුවන් වෙනවා ඔහු කාරණා දිහා බලන විදිහ තේරුම්ගන්න. ජීවිතේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් ඒක උදව් වෙනවා.

ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම්, අපි ඒ ගැන දන්නේ නැත්නම් අපි ජීවත් වෙන්නේ ජීවිතයේ දැනගන්න ඕන වැදගත්ම දෙයක් නොදැනයි

2. හිතට සහනය

සමහර අය දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැත්තේ හැම තැනම දකින්න තියෙන දුක් වේදනා නිසයි. හැම දෙයක්ම නිර්මාණය කරන්න තරම් ‘දෙවියන්ට ලොකු බලයක් තියෙනවා නම් මිනිස්සුන්ට දුක් විඳින්න ඉඩ හැරලා තියෙන්නේ ඇයි’ කියලා ඔවුන් හිතනවා.

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරපු වෙලාවේදී ඔහු අරමුණු කළේ ඔවුන් කිසිම දුකක් වේදනාවක් විතරක් නෙමෙයි මරණය පවා නැති ජීවිතයක් භුක්ති විඳිනවා දකින්නයි. (උත්පත්ති 2:7-9, 15-17) ඒත් ඒක වෙන්න බැරි දෙයක් කියලා ඔබට හිතෙනවද? මේ විශ්වය හදපු කෙනාට ලොකු බලයක් තියෙනවා. ඒ වගේම ඔහු හැම දෙයක්ම කරන්නේ ප්‍රේමයෙන් පෙලඹිලයි. එහෙම නම් ඔහු සතුටින් පිරි ජීවිතයක් මිනිස්සුන්ට ලබා දෙයි කියලා හිතන්න බැරිද!

ඒත් මිනිස්සුන්ට අද ඒ වගේ ජීවිතයක් නැත්තේ ඇයි? බයිබලයේ කියන්නේ දෙවියන් මුල්ම මිනිසාව නිර්මාණය කළේ තනියම තීරණ ගැනීමේ නිදහස ඇතුව මිසක් රොබෝ යන්ත්‍ර වගේ නෙමෙයි. ඒත් මුල් මිනිස් යුවළ දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගත්තේ නැහැ. ඒ අයට ඕන වුණේ තමන්ගේ හිතුමතේට තීරණ ගන්න. (උත්පත්ති 3:1-6, 22-24) ඔවුන්ගෙන් පැවතෙන අපි හැමෝම අද දුක් විඳින්නෙත් ඔවුන් දෙවියන්ට අකීකරු වුණු නිසයි.

අද මිනිස්සු දුක් විඳින එක දෙවියන් අරමුණු කරපු දෙයක් නෙමෙයි කියලා දැනගන්න එක අපේ හිතට ලොකු සහනයක් නෙමෙයිද!

3. බලාපොරොත්තුව

මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණාට පස්සේ දෙවියන්ගේ අරමුණ වෙනස් වුණාද? නැහැ. මිනිස්සුන්ට මේ පොළොවේ ප්‍රීතියෙන් සදාකාලයටම ජීවත් වෙන්න අරමුණු කළ එක ඒ විදිහටම ඉටු වෙනවා. දෙවියන්ට ලොකු බලයක් තියෙන නිසා ඔහු අරමුණු කරපු දෙයක් වෙනස් කරන්න කාටවත් බැහැ. (යෙසායා 55:11) දෙවියන්ට අකීකරු වූ නිසා මිනිස්සු අද අද්දකින දුක වේදනාව දෙවියන් ළඟදීම ඉවත් කරනවා.

මේ ගැන හොයලා බලන එක ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? දෙවියන් දීලා තියෙන පොරොන්දු 2ක් ගැන අපි බලමු.

  • දුෂ්ටකම තුරන් කරලා මුළු පොළොවේම සාමය ඇති කරනවා. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”ගීතාවලිය 37:10, 11.

  • අසනීප සහ මරණය නැති කරනවා. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.” (යෙසායා 33:24) “යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”යෙසායා 25:8.

දෙවියන් බයිබලයේ දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්. මොකද කලින් කියලා තිබුණු අනාවැකි දැනටමත් ඉෂ්ට වෙලා තියෙනවා. දෙවියන් අනාගතයේදී දුක් වේදනා නැති කරනවා විතරක් නෙමෙයි මේ කාලයේදීත් අපිට උදව් කරනවා. ඒ කොහොමද?

4. මඟ පෙන්වීම්

අපි ගන්න සමහර තීරණ බලපාන්නේ ටික කාලෙකට වුණත් තවත් තීරණ ජීවිත කාලෙටම බලපානවා. ජීවිතේ ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න දෙවියන් අපිට මඟ පෙන්වනවා. අපිව නිර්මාණය කරපු දෙවියන්ට තරම් ප්‍රඥාවක් මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුට නැහැ. ඒ විතරක් නෙමෙයි අතීතයේ වුණු දේවල් වගේම අනාගතයේදී සිදු වෙන හැම දෙයක්මත් දෙවියන් දන්න නිසා අපිට හොඳම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි.

බයිබලය ලියන්න මිනිස්සුන්ව යොදාගත්තත් ඒකෙ තියෙන්නේ යෙහෝවා දෙවිගේ අදහස්. ඔහු මෙහෙම කියලා තියෙනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”යෙසායා 48:17, 18.

යෙහෝවා දෙවියන්ට අසීමිත බලයක් තියෙනවා. ප්‍රේමණීය පියෙක් වන ඔහු ඒ බලය යොදාගෙන මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි. ඒ නිසයි බයිබලයේ කියන්නේ ‘ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඒ දේ ලබා දෙයි’ කියලා. (ලූක් 11:13) අපිව ශක්තිමත් කරන්නත් අපිට මඟ පෙන්වන්නත් දෙවියන්ගේ බලයට පුළුවන්.

දෙවියන්ගෙන් උදව් ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.” (හෙබ්‍රෙව් 11:6) දෙවියන් ඉන්නවා කියලා පිළිගන්න නම් ඔබම ඒ ගැන හොයලා බලන්න ඕනේ.

ඔබත් හොයලා බලන්න කැමතිද?

දෙවියන් ගැන දැනගන්න ඔබට යම් කාලයක් ගත වෙයි. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන කියලා නිම කරන්න බැහැ. ඇමරිකාවේ ජීවත් වෙන ස්‍යුජින් සෙඕගේ අද්දැකීම බලන්න. “මම පරිණාමය විශ්වාස කළත් මට බයිබලය ගැන දැනගන්නත් ආසාවක් තිබුණා. ඒ නිසා මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගත්තා. ඒත් මම කැම්පස් එකේ අවසන් වසරේ හිටපු කාලෙදී බයිබලය ඉගෙනගන්න වෙලාවක් නැති වුණා. ඒ කාලෙදි මං හිටියේ සතුටෙන් නෙමේ. ඒත් මම ආයිත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තම නැති වුණු සතුට ලැබුණා.”

සියලුම දේවල් නිර්මාණය කරපු යෙහෝවා දෙවි ගැන හොයලා බලන්න ඔබත් කැමතිද? එහෙම කළොත් ඔබටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙයි.