Skip to content

පටුනට යන්න

වියෝදුකට සහනයක්!

මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

වියෝදුක ගැන අධ්‍යයනය කරන සමහර අය කියනවා වියෝදුකින් පෙළෙන හැමෝම දුක ප්‍රකාශ කරන්නේ එකම විදිහට කියලා. ඒත් ඒක ඇත්තක් නෙවෙයි. මොකද කෙනෙක් කෑගහලා ඇඬුවාට තව කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඒ, දුක නැති නිසාද? නැත්නම් දුක තද කරගෙන ඉන්න නිසාද? එහෙම කියන්න බැහැ. දුක පිට කරන එක දුක දරාගන්න උදව් වුණත් දුක ප්‍රකාශ කරන්න ඕනෙ “මේ විදිහටයි” කියලා නිශ්චිතවම කියන්න බැහැ. සංස්කෘතිය, පෞද්ගලිකත්වය, අද්දැකීම් සහ මැරුණු විදිහ අනුව දුක ප්‍රකාශ කරන විදිහ වෙනස් වෙනවා.

දරාගන්න පුළුවන් වෙයිද?

ඉස්සරහට තමන්ට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා වියෝදුකින් ඉන්න අය දන්නේ නැහැ. හැබැයි පොදුවේ හැමෝටම වගේ අද්දකින්න වෙන දේවල් කීපයක් තියෙනවා.

මානසිකව කඩා වැටීම. වෙලාවකට අඬන්න හිතෙයි. ලොකු පාළුවක් දැනෙයි. හිටිහැටියෙම හැඟීම් වෙනස් වෙයි. මැරුණු කෙනා ගැන තියෙන මතකයන්, එයාව හීනෙන් දකින එක වගේ දේවල් නිසා ලොකු වේදනාවක් දැනෙයි. ආදරය කරන කෙනෙක් මැරුණා කියලා දැනගත්ත ගමන්ම සමහර අයට ලොකු කම්පනයක් දැනිලා ඒක වෙන්න බැහැ කියලා හිතෙනවා. තමන්ගේ සැමියා වුණු ටීමෝ මැරුණායි කියලා දැනගත්තාම හැඟුණු විදිහ ගැන ටීනා කිව්වේ මෙහෙමයි. “මගේ මුළු ඇඟම හිරි වැටුණා. මට ඇඬුණෙත් නැහැ. වෙලාවකට මට දැනුණේ මගේ හුස්ම හිර වෙනවා වගෙයි. වෙච්ච දේ මට අදහාගන්නවත් බැරි වුණා.”

කනස්සල්ල, කේන්තිය, හිත වධ දීම. අයිවන්ගේ අද්දැකීම බලන්න. “සාමාන්‍යයෙන් මටයි, මගේ නෝනා යොලන්ඩාටයි වැඩිය කේන්ති යන්නේ නැහැ. හැබැයි අවුරුදු 24දී අපේ පුතා එරික් මැරුණාට පස්සේ අපි දෙන්නා හැම තිස්සෙම හිටියේ හරිම කේන්තියෙන්. අපිට එරික් වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණානේ කියලත් හිතුණා.” ආලේහන්ද්‍රෝ කාලයක් තිස්සේ අසනීපෙන් හිටපු තම බිරිඳ මැරුණාට පස්සේ තමන්ට හැඟුණු විදිහ ගැන මෙහෙම කියනවා. “මං අතින් ගොඩක් වැරදි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති දෙවියන් මට මේ තරම් දුකක් විඳින්න ඉඩහැරියේ කියලා මට හිතුණා. ඒත් පස්සේ මට හිතුණා අපරාදේ මං දෙවියන් ගැන එහෙම හිතුවේ කියලා.” කලින් ලිපියේ සඳහන් වුණු කොස්ටාස් මෙහෙම කියනවා. “සොෆියා මැරුණු එක ගැන සමහර වෙලාවට මට සොෆියා එක්කත් කේන්ති ගියා. ඒත් පස්සේ ඒ ගැන මගේ හිත මට වධ දුන්නා.”

හිත අවුල් වීම. සමහර වෙලාවට කිසිම තේරුමක් නැති සිතුවිලි මනසට එන්න පුළුවන්. උදාහරණෙකට වියෝදුකින් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිය ගිය කෙනාගේ කටහඬ ඇහෙනවා, එයාව පේනවා, එයා ළඟින් ඉන්නවා කියලා. ඒ වගේම කිසිම දේකට හරියට අවධානය දෙන්නත් දේවල් මතක තියාගන්නත් අමාරු වෙයි. ටීනාගේ අද්දැකීම බලන්න. “කාත් එක්ක හරි කතා කරකර ඉද්දී සමහර වෙලාවට මං වෙනමම ලෝකෙකට ගියා. ඒ වගේ වෙලාවට එයා මැරුණු දවසේ වුණු දේවල් එකින් එක මගේ ඔළුවට ආවා. කිසිම දේකට හරියට අවධානය දෙන්න මට බැරි වුණා. ඒක මට මහා වධයක් වුණා.”

තනි වෙන්න ඕනෙ කියන සිතුවිල්ල. වියෝදුක අද්දකින කෙනෙක්ට කට්ටියක් එක්ක ඉද්දී ලොකු අපහසුතාවක් දැනෙන්න ඉඩ තියෙනවා. කොස්ටාස් මෙහෙම කිව්වා. “බැඳපු අය එක්ක ඉද්දී මට හිතුණා මං එතනට ගැළපෙන්නේ නැහැ කියලා. තනිකඩයන් එක්ක ඉද්දිත් මට එහෙම හිතුණා.” අයිවන්ගේ බිරිඳ යොලන්ඩා මෙහෙම මතක් කරනවා. “පුංචි පුංචි දේවල් ගැන මිනිස්සු කන්කෙඳිරි ගාද්දි අපිට හිතුණා අපේ ප්‍රශ්න එක්ක බලද්දී ඒවා මොනාද කියලා. සමහර අය එයාලගේ දරුවන් ගැන හරිම සතුටින් මාත් එක්ක දේවල් කියද්දී මට සතුටක් දැනුණා. හැබැයි ඒත් එක්කම ලොකු දුකකුත් දැනුණා. පුතා නැති වුණා කියලා ජීවිතේ නතර වෙන්නේ නැහැ තමයි. ඒත් ජීවත් වෙන්න අපිට කිසිම ආසාවක් තිබුණේ නැහැ.”

සෞඛ්‍ය ගැටලු. කෑම අරුචිය, සිරුරේ බර වෙනස් වීම, නින්ද නොයෑම වගේ දේවල් වියෝදුකින් ඉන්න හැමෝම වගේ අද්දකිනවා. තාත්තා මැරිලා ගෙවුණු මුල් අවුරුද්ද ගැන ඒරන් මෙහෙම කියනවා. “ඒ දවස්වල හැමදාම රෑ එකම වෙලාවට වගේ මට ඇහැරුණා. ඒ වෙලාවට තාත්තා ගැන එක එක දේවල් මගේ ඔළුවට ආවා.”

දැනුණු අමුතු රෝග ලක්ෂණ ගැන ආලේහන්ද්‍රෝ මෙහෙම කිව්වා. “කීප සැරයක්ම බෙහෙත් ගන්න ගියත් මට ලෙඩක් නැහැ කියලයි දොස්තර කිව්වේ. පස්සේ මට තේරුණා එහෙම වුණේ හිතේ වේදනාව නිසයි කියලා.” කල් යද්දී එයාට දැනුණු අසනීප ගතිය නැති වුණා. ඒත් ආලේහන්ද්‍රෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගිය එක හොඳ දෙයක්. මොකද වියෝදුක නිසා කෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා, තියෙන ලෙඩ වැඩි වෙන්නත් අලුත් ලෙඩ හැදෙන්නත් ඉඩ තියෙනවා.

අත්‍යවශ්‍ය වැඩකටයුතු කරගෙන යන්න අමාරු වීම. අයිවන් කිව්වේ මෙහෙමයි. “පුතා මැරුණා කියලා නෑදෑයන්ට, යාළුවන්ට විතරක් නෙවෙයි පුතාගේ බොස්ට, පුතා කුලියට හිටිය ගෙදර අයිතිකාරයාට වගේ තව කීපදෙනෙක්ටම කියන්න වුණා. ලියකියවිලි ගොඩක් පුරවන්නත් තිබුණා. ඒවා කළාට පස්සේ පුතාගේ බඩු අස්පස් කරන්නත් වුණා. මානසිකව වැටිලා හෙම්බත් වෙලා හිටපු මට ඒ හැම දේම කරන එක පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ.”

වියෝදුකින් ඉන්න සමහර අය තමන්ට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගය විදිහට දකින්නේ මැරුණු කෙනා ඉටු කරපු වගකීම් ඉටු කරන්න වෙන එකයි. ටීනාගේ අද්දැකීම බලන්න. “බැංකුවට අදාළ වැඩ විතරක් නෙවෙයි අනිත් හැම ගනු දෙනුවක්ම කෙරුවේ ටීමෝ. එයා මැරුණාට පස්සේ ඒ ඔක්කොම මගේ කර පිට වැටුණා. ඒකෙන් පීඩනය තවත් වැඩි වුණා. මට හිතුණා කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙයි කියලා.”

වියෝදුක දරාගන්න එක මොන තරම් අමාරුද කියලා ඒ තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා. හැබැයි ඒ ගැන කලින්ම දැනගෙන ඉන්න එක ඒ දුක දරාගන්න ලොකු උදව්වක් වෙයි. ඒ වගේම ආදරය කරන කෙනෙක් මැරුණාම ලොකු වේදනාවක් දැනෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා දැනගෙන ඉන්න එකත් ලොකු සහනයක්. හැමෝටම වියෝදුක දැනෙන්නේ එකම විදිහට නෙවෙයි කියලත් මතක තියාගන්න.

මට ආයේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙයිද?

ගොඩ එන්න පුළුවන්. කාලයත් එක්කම දැනෙන වේදනාව ටිකෙන් ටික අඩු වෙයි. හැබැයි “ඒ දුක නැති වෙලාම යනවා” කියලවත් මැරුණු කෙනාව අමතක වෙනවා කියලවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවුණු වෙලාවක සමහර මතකයන් අලුත් වෙද්දී එහෙමත් නැත්නම් විවාහ වුණු දවස වගේ විශේෂ දවස්වලදී ඒ දුක තදින් දැනෙන්න පුළුවන්. ඒත් කාලයත් එක්කම හුඟක් අය තමන්ගේ එදිනෙදා වැඩකටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් තත්වයකට එනවා. පවුලේ අයගෙන් නැත්නම් යාළුවන්ගෙන් ලැබෙන සහයෝගය වගේම තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන එක වියෝදුකින් ගොඩ එන්න උදව් වෙනවා.

කොච්චර කල් යයිද? සමහර අයට මාස කිහිපයක් ඇතුළත වියෝදුකින් ගොඩ එන්න පුළුවන් වෙනවා. හැබැයි හුඟක් අයට අවුරුද්දක්, දෙකක් විතර යනවා. තවත් අයට ඊටත් වඩා වැඩි කාලයක් යන්නත් ඉඩ තියෙනවා. * ආලේහන්ද්‍රෝ කිව්වේ “අවුරුදු තුනක් යන කල් මට වේදනාව දරාගන්න අමාරු වුණා” කියලයි.

කරන්න බැරි දේවල් ගැන ළත වෙන්න එපා. එදා දවසට කරන්න තියෙන දේවල් ගැන විතරක් හිතන්න. ඔයාට කරන්න පුළුවන් දේවල් කරන්න. වියෝදුකින් ගොඩ එන්න ඒක උදව් වෙයි. වියෝදුක හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ කියලත් මතක තියාගන්න. දුක දරාගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඊළඟට බලමු.

ආදරය කරන කෙනෙක් මැරුණාම ලොකු වේදනාවක් දැනෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි

^ ටිකදෙනෙක්ට වියෝදුක හුඟක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේ අයට ඒ හා සම්බන්ධ උපදේශකයෙක්ගෙන් උදව් ගන්න වෙයි.