Skip to content

පටුනට යන්න

තාක්ෂණය ඔයාගේ මිතුදම්වලට කොහොම බලපායිද?

තාක්ෂණය ඔයාගේ මිතුදම්වලට කොහොම බලපායිද?

මෙසේජ්, ඊමේල්, වීඩියෝ කෝල්, මිතුරු සමාජ වෙබ් අඩවි වගේ දේවල් නිසා අද ලෝකයේ අනිත් කෙළවරේ ඉන්න කෙනෙක්ට වුණත් හරිම ලේසියෙන් කතා කරන්න දැන් පුළුවන්. තාක්ෂණය මිනිසුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

හැබැයි සමහර අය යාළුකම් තියාගන්නේ ඉලෙක්ට්‍රෝනික උපකරණ හරහා විතරයි. ඒ වගේ අය ගොඩක් වෙලාවට . . .

  • යාළුවන්ගේ හැඟීම් තේරුම්ගන්නේ නැහැ.

  • ඉන්නේ ලොකු තනිකමකින්.

  • හිතන්නේ තමන් ගැන විතරයි.

දැනගන්න ඕන දේ

අනිත් අයව තේරුම්ගන්න එක

අපේ යාළුවන්ව තේරුමගන්න නම් ඉවසීමෙන් කාලය අරන් එයාලා ගැන හිතන්න ඕනේ. හැබැයි අපි ගොඩදෙනෙක්ට මෙසේජ් යවන්න, එයාලා දාපු පින්තූර බලන්න කාලය වැය කරනවා නම් ඒ දේ කරන්න අපිට බැරි වෙයි.

ගොඩක් යාළුවන් ඔයාට මෙසේජ් කරනවා නම් කාලයක් ගියාම එයාලා එවන මෙසේජ් ඔයාට ලොකු හිසරදයක් වෙයි. ඒ නිසා ඔයා බලන්නේ පුළුවන් තරම් ඉක්මනට එයාලා එවපු මෙසේජ් බලලා ඉවර කරන්න. ඉතින් හදිස්සියේවත් යාළුවෙක් උදව්වක් ඉල්ලලා මෙසේජ් එකක් දාලා තිබුණා නම් ඒක මඟහැරෙන්නත් ඉඩ තියෙනවා.

මේ ගැන හිතන්න: මෙසේජ් කරද්දි ඔයා යාළුවෝ ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?—1 පේතෘස් 3:8.

තනිකම

මිතුරු සමාජ වෙබ් අඩවිවල, මෙසේජ් යවන ඇප්වල පැය ගාණක් ගත කළාට පස්සේ “ප්‍රයෝජනවත් වැඩක් කළේ නැහැ කියලා දැනෙන නිසා” ලොකු කලකිරීමක් ඇතිවෙනවා කියලා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අනිත් අය ගිය තැන්, කරපු දේවල් ගැන තියෙන පින්තූර බලද්දි තමන්ව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්න පෙලඹෙනවා. එහෙම වුණාම ‘අනිත් අය හොඳට විනෝද වෙද්දී මං විතරක් ඔහේ ඉන්නවා’ කියලා හුඟක් අයට දැනෙනවා.

මේ ගැන හිතන්න: මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරද්දී ඔයාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?—ගලාති 6:4.

තමන් ගැන විතරක් හිතන එක

එක ගුරුවරියක් කියනවා “අද ඉන්න හුඟක් ළමයින් හරිම ආත්මාර්ථකාමියි” කියලා. එයාලා යාළුවන් කරගන්නේ තමන්ට වාසියක් තියෙන අයව විතරයි. එයාලා යාළුවන්ව දකින්නේ ඕනෙ වෙලාවට ඩවුන්ලෝඩ් කරගෙන ඕනෙ නැති වෙලාවට ඩිලීට් කරන්න පුළුවන් ඇප් එකක් විදිහට.

මේ ගැන හිතන්න: ඔයා දාන පින්තූරවලින් සහ අනිත් දේවල්වලින් පේන්නේ ඔයා අනිත් අයත් එක්ක තරඟ කරන, ඕනෑවට වඩා තමන් ගැන හිතන කෙනෙක් කියලද?—ගලාති 5:26.

කරන්න පුළුවන් දේ

ඔයා ඉලෙක්ට්‍රෝනික උපකරණ පාවිච්චි කරන විදිහ ගැන හිතලා බලන්න

ඉලෙක්ට්‍රෝනික උපකරණවලට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව ඔයා ඒක හරි විදිහට පාවිච්චි කරනවා නම් යාළුවන්ට තව ළං වෙන්න ඔයාට පුළුවන් වෙයි.

බයිබල් ප්‍රතිපත්තිය: ’ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා තමාගේම වාසිය සොයන්නේ නැත.’—1 කොරින්ති 13:4, 5.

ඔයා අදාළ කරගන්න කැමති යෝජනා මොනවාද කියලා බලන්න. ඔයාට තවත් යෝජනා තියෙනවා නම් ඒවා පහළින් ලියන්න.

  • මෙසේජ්, ඊමේල් යවනවා වෙනුවට පුළුවන් තරම් ඒ කෙනාව හම්බ වෙලා හරි කෝල් එකක් දීලා හරි කතා කරන්න

  • අනිත් අයත් එක්ක කතා කරද්දී ෆෝන් එක පැත්තකින් තියන්න. එහෙම නැත්නම් බාධාවක් වෙන්නේ නැති විදිහට හදාගන්න

  • මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරන කාලය අඩු කරන්න

  • අනිත් අයට හොඳින් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න

  • ප්‍රශ්නයක් තියෙන නැත්තම් දුකින් ඉන්න යාළුවෙක් එක්ක ටිකක් කතා කරන්න