Skip to content

පටුනට යන්න

කතන්දර 1

දෙවි මවන්න පටන්ගනී

දෙවි මවන්න පටන්ගනී

අපිට තියෙන හොඳ දේවල් ඔක්කොම ලැබෙන්නේ දෙවිගෙන්. දවල්ට අපිට එළිය දෙන්න ඉරත්, රෑට තරමක එළියක් දෙන හඳත්, තාරකාත් ඔහු අපිට මවා දුන්නා. අපිට ජීවත් වෙන්න පොළොවකුත් ඔහු මැව්වා.

ඒ වුණාට දෙවි මුලින්ම මැව්වේ, ඉර, හඳ, තාරකා හා පොළොව නෙවෙයි. මුලින්ම මැව්වේ මොනවද කියලා ඔයා දන්නවාද? දෙවිට සමානකමක් තියෙන අයවයි දෙවි මුලින්ම මැව්වේ. අපිට දෙවිව පේන්නේ නැහැ වගේම, මේ අයවත් අපිට පේන්නේ නැහැ. බයිබලයේ මේ අයව හඳුන්වන්නේ දේවදූතයන් කියලයි. දෙවි මේ දේවදූතයන්ව මැව්වේ ඔහු එක්ක ස්වර්ගයේ ජීවත් වෙන්නයි.

දෙවි මවපු මුල්ම දේවදූතයා හරිම විශේෂයි. ඔහු දෙවිගේ පළවෙනිම පුතා. ඔහු තම පියා එක්ක එකට වැඩ කළා. අනික් සෑම දෙයක්ම මවන්න ඔහුයි දෙවිට උදව් කළේ. ඉර, හඳ, තාරකා වගේම අපේ පොළොවත් මවන්න ඔහු දෙවිට උදව් කළා.

ඒ කාලයේ පොළොව මොන වගේද තිබුණේ? මුලදී කාටවත් පොළොවේ ජීවත් වෙන්න බැරි තත්වයක් තිබුණා. මුළු ගොඩබිමම එක විශාල මුහුදක් හැටියටයි තිබුණේ. නමුත් දෙවි කැමති වුණේ පොළොවේ මිනිසුන් ජීවත් වෙනවා දකින්නයි. ඉතින්, ඔහු අපිට දේවල් සූදානම් කරන්න පටන්ගත්තා. ඔහු මොනවාද කළේ?

මුලින්ම පොළොවට අවශ්‍ය වුණේ ආලෝකයයි. ඉතින්, දෙවි පොළොව මතට ඉර පායන්න සැලැස්සුවා. ඔහු එහෙම කළේ රාත්‍රි කාලයකුත් දවල් කාලයකුත් තියෙන විදිහටයි. ඊට පස්සේ, මුහුදෙන් ගොඩබිම මතු වෙන්න සැලැස්සුවා.

මුලදී ගොඩබිමේ කිසිම දෙයක් තිබුණේ නැහැ. හරියට මේ පින්තූරයේ ඇඳලා තියෙනවා වගේ. ගස්වත්, මල්වත් තිබුණේ නැහැ. සත්තු හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මුහුදේ මාළු හිටියෙත් නැහැ. සතුන්ටයි මිනිසුන්ටයි ලස්සනට පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න, දෙවිට තව වැඩ ගොඩක් කරන්න තිබුණා.