Skip to content

පටුනට යන්න

කතන්දර 3

පළමු මිනිසා හා ස්ත්‍රිය

පළමු මිනිසා හා ස්ත්‍රිය

මේ පින්තූරයේ තියෙන වෙනස මොකක්ද? ඔව්, ඒකේ ඉන්න මිනිස්සු දෙන්නා නේද? මේ දෙන්නා තමයි පළමු මිනිසා හා ස්ත්‍රිය. ඒගොල්ලන්ව මැව්වේ කවුද? ඒක කළේ දෙවියි. දෙවිගේ නම ඔයා දන්නවාද? ඔහුගේ නම යෙහෝවා. මේ මිනිසාගේ නම ආදම්, ස්ත්‍රියගේ නම ඒව.

යෙහෝවා දෙවි ආදම්ව මැව්වේ මෙන්න මෙහෙමයි. ඔහු පොළොවෙන් දූවිලි ටිකක් අරගෙන ඒකෙන් පරිපූර්ණ ශරීරයක්, ඒ කියන්නේ මිනිසෙකුගේ ශරීරයක් හැදුවා. ඊට පස්සේ ඔහු ඒ මිනිසාගේ නහයට හුස්ම පිම්බාම, ආදම් ජීවත් වෙන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවි ආදම්ට කරන්න වැඩක් දුන්නා. ඔහු ආදම්ට කිව්වා හැම ජාතියෙම සතෙකුට නමක් දෙන්න කියලා. හැම සතෙකුටම හොඳම නම තෝරාගන්න, ආදම් මේ සතුන්ගේ හැසිරීම දිහා කාලයක් තිස්සේ බලා ඉන්න ඇති. ආදම් සතුන්ට නම් දාන කොට, එයාට මොකද්දෝ වෙනසක් දැනුණා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද?

සත්තු ඔක්කොම හිටියේ ජෝඩු හැටියට. අලියන්ගේ පිරිමි සතා වගේම ගෑනු සතාත් හිටියා. සිංහයන්ගෙත් පිරිමි සතායි ගෑනු සතායි හිටියා. ඒ වුණාට, ආදම්ට නම් කව්රුත් හිටියේ නැහැ. ඉතින් යෙහෝවා, ආදම්ව බර නින්දකට වැටෙන්න සැලැස්සුවා. ඊට පස්සේ, යෙහෝවා එයාගේ එක පැත්තකින් ඉල ඇටයක් අරගෙන ආදම්ට ස්ත්‍රියක් මවලා දුන්නා. ඇය තමා ආදම්ගේ භාර්යාව වුණේ.

ආදම්ට දැන් කොච්චර සන්තෝෂද! ඒ වගේම මෙච්චර ලස්සන උයනක ජීවත් වෙන්න පුළුවන් වුණ එක ගැන, ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද කියලා හිතන්න! දැන් ඒගොල්ලන්ට ළමයින් ලැබුණාම සන්තෝෂයෙන් එකට ජීවත් වෙන්න පුළුවන්.

යෙහෝවාට ඕන කළේ ආදම් හා ඒව සදාකල් ජීවත් වෙලා මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරනවා දකින්නයි. මේ ගැන හිතද්දී, ආදම් හා ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද! ඔයත් ඒ කාලේ හිටියා නම්, ඔයා කැමති වෙනවද පොළොව ලස්සන උයනක් කරන්න උදව් වෙන්න? නමුත් ආදම් හා ඒවගේ සන්තෝෂය වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ ඇයි කියලා අපි බලමු.