Skip to content

පටුනට යන්න

කතන්දර 8

පොළොව මත යෝධයෝ

පොළොව මත යෝධයෝ

ඔයාගේ ගෙදර වහලෙ වදින තරම් උස කෙනෙක් ඔයා ළඟට ඇවිදගෙන ආවොත් මොනවද හිතෙන්නේ? එහෙම කෙනෙක් යෝධයෙක්ම වෙන්න ඕනේ! ඇත්තටම එක කාලෙක පොළොවේ හිටියා යෝධයෝ කියන අය. ඒගොල්ලන්ගේ තාත්තලා ස්වර්ගයෙන් ආපු දේවදූතයන් කියලා බයිබලයේ කියනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද?

ඔයාට මතකද, සාතන් කියන නරක දේවදූතයා හැම තිස්සේම හදන්නේ කරදර ඇති කරන්නයි කියලා. දේවදූතයන්වත් නරක් කරන්න ඔහු උත්සාහ කළා. කාලයක් යද්දී, මේ දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් සාතන්ට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. දෙවි ඒගොල්ලන්ට ස්වර්ගයේ කරන්න දීපු වැඩ නවත්තලා ඒගොල්ලෝ පොළොවට ආවා මිනිස් ශරීර හදාගෙන. එහෙම කළේ ඇයි කියලා ඔයා දන්නවාද?

දෙවිගේ මේ පුත්‍රයො, පොළොවේ ඉන්න ලස්සන ගැහැනු අයව දැකලා, ඒගොල්ලන් එක්ක ජීවත් වෙන්න ආශා කළා කියලයි බයිබලයේ කියන්නේ. ඉතින්, ඒගොල්ලන් පොළොවට ඇවිල්ලා මේ ගැහැනු අයව විවාහ කරගත්තා. දෙවි, දේවදූතයන්ව මැව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න නිසා මෙහෙම දෙයක් කරන එක වැරදියි කියලා බයිබලයේ කියනවා.

මේ අයට ළමයි ලැබුණාම, ඒ ළමයි අනිත් අයට වඩා වෙනස් වුණා. ඉපදුන හැටියෙම වැඩි වෙනසක් පෙනුණේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට, ඒගොල්ලන් ලොකු වෙන කොට ශක්තිමත් යෝධයෝ වුණා.

මේ යෝධයෝ නරක අය. ඒගොල්ලන් හුඟක් ලොකු නිසාත්, ශක්තිමත් නිසාත්, මිනිස්සුන්ට කරදර කරන්න පටන්ගත්තා. ඒගොල්ලන් වගේම නරක අය වෙන්න කියලා හැමෝටම බල කරන්න හැදුවා.

මේ කාලේ වෙන කොට, ඒනොක් මැරිලා. හැබැයි එක හොඳ මිනිසෙක් ඒ වෙද්දී පොළොවේ හිටියා. එයාගේ නම නෝවා. එයා දෙවි කිව්ව විදිහටමයි හැම තිස්සෙම දේවල් කළේ.

දවසක් දෙවි නෝවාට කිව්වා, නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ කියලා. ඒ වුණාට දෙවි, නෝවාවයි, එයාගේ පවුලේ අයවයි, සතුන් හුඟදෙනෙකුවයි බේරගන්නවා කියලත් කිව්වා. දෙවි මේක කළේ කොහොමද කියලා අපි බලමුද?