Skip to content

පටුනට යන්න

කතන්දර 10

මහා ජලගැල්ම

මහා ජලගැල්ම

නැවෙන් පිටත හිටපු අය ඒ විදිහටම ඒ අයගේ ජීවිත ගත කළා. ජලගැල්ම එයි කියලා ඒ අය ඒ වෙද්දිත් විශ්වාස කළේ නැහැ. මීට ඉස්සෙල්ලා හිනා වුණාටත් වැඩියෙන් ඒ අය හිනා වෙන්න ඇති. ඒ වුණාට ඒ අයට වැඩි කාලයක් හිනා වෙන්න ලැබුණේ නැහැ.

එකපාරටම වතුර වැටෙන්න පටන්ගත්තා. ඒක අහසෙන් කඩා වැටුණේ හරියට බාල්දියකින් කවුරු හරි වතුර හළනවා වගෙයි. නෝවා කිව්ව විදිහටම වුණා! ඒ වුණාට දැන් කාටවත් නැවට ඇතුල් වෙන්න බැහැ. ඒගොල්ලන් පරක්කු වැඩියි. යෙහෝවා දොර තදින් වහලා.

හරි ඉක්මනටම පහත් බිම් ඔක්කොම වතුරෙන් යට වුණා. ලොකු ගඟක් වගේ වතුර පිරුණා. ගස් ගහගෙන ගිහිල්ලා, විශාල ගල් හරහට පෙරළිලා, මහා ශබ්දයක් ඇති වුණා. මිනිස්සු හොඳටම භය වුණා. ඒගොල්ලන් උස් බිම්වලට නැග්ගා. අනේ! නෝවාට ඇහුම්කම් දීලා, නැවේ දොර ඇරලා තිබුණ වෙලාවෙ ඒක ඇතුලට ගියා නම්, මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනේ කියලා ඒගොල්ලන්ට දැන් හිතෙන්න ඇති! නමුත් දැන් ඒකට පරක්කු වැඩියි.

වතුර ටිකෙන් ටික, ටිකෙන් ටික ඉහළ නැග්ගා. දවස් 40කුයි රෑ 40කුයි අහසින් වතුර ගලාගෙන ආවා. ඉක්මනින්ම උසම කඳුත් වතුරට යට වුණා. ඉතින්, දෙවි කියපු විදිහටම නැවෙන් එළියේ හිටපු මිනිස්සුයි සතුනුයි හැමෝම මැරුණා. ඒ වුණාට ඇතුලේ හිටපු හැමදෙනාම ආරක්ෂා වුණා.

නෝවාත් එයාගේ පුත්තුත් නැව හොඳට හදලා තිබුණා. වතුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒක වතුර උඩ පාවෙන්න පටන්ගත්තා. දවසක් වැස්ස නැවතුණාට පස්සේ ඉර පායන්න ගත්තා. ඒක නම් හරිම අපූරු දර්ශනයක්! බලන බලන හැම තැනකම තිබුණේ ලොකු මුහුදක්. පේන්න තිබුණේ මේ පාවෙන නැව විතරයි.

යෝධයෝ දැන් නැහැ. මිනිසුන්ට හිංසා පීඩා කරන්න ඒ අය දැන් අහළකවත් නැහැ. ඒගොල්ලනුයි ඒගොල්ලන්ගේ අම්මලයි, ඒ විතරක් නෙමෙයි මිනිස්සු හැමෝමත් මැරිලා. ඒ වුණාට ඒගොල්ලන්ගේ තාත්තලාට මොනවාද වුණේ?

ඒ යෝධයන්ගේ තාත්තලා ඇත්තෙන්ම අපි වගේ මිනිස්සු නෙවෙයි. ඒ අය මනුෂ්‍යයන් වගේ ජීවත් වෙන්න පොළොවට ආපු දේවදූතයන්. ඒ නිසා, ජලගැල්ම ආවාම ඒ අය අනිත් මිනිස්සු වගේ මැරුණේ නැහැ. ඒගොල්ලෝ හදාගත්ත මිනිස් ශරීර පාවිච්චි කරන එක නවත්තලා, ආයෙත් දේවදූතයන් හැටියට ස්වර්ගයට ගියා. ඒ වුණාට ආයෙත් දේවදූත පවුලේ කොටසක් වෙන්න ඒගොල්ලන්ට ඉඩක් ලැබුණේ නැහැ. ඉතින් ඒගොල්ලන් සාතන්ගේ දූතයන් වුණා. බයිබලයේ ඒගොල්ලන්ට කියන්නේ භූතයෝ කියලයි.

දෙවි දැන් හුළඟක් හමන්න සැලැස්සුවාම, වතුර හිඳෙන්න පටන්ගත්තා. මාස පහකට පස්සේ නැව කඳු මුදුනක නැවතුණා. ඔහොම තව දවස් ගානක් ගත වුණා. නැව ඇතුලේ හිටපු අය එළිය බැලුවාම ඒගොල්ලන්ට කඳු මුදුන් පේන්න ඇති. වතුර ටිකෙන් ටික පහළ බැස්සා.

ඊට පස්සේ නෝවා කපුටෙක්ව නැවෙන් එළියට යැව්වා. ඌ ටික වේලාවක් ඉගිලිලා, ලගින්න හොඳ තැනක් නැතුව, ආයෙත් හැරිලා ආවා. ඌ දිගටම මෙහෙම කළා.

වතුර හොඳටම හිඳිලද කියලා බලන්න නෝවාට ඕන වුණ නිසා, ඊළඟට පරෙවියෙක්ව නැවෙන් එළියට යැව්වා. ඒ වුණාට ලගින්න තැනක් හොයාගන්න බැරි වුණ පරෙවියාත් හැරිලා ආවා. දෙවෙනි පාරටත් පරෙවියාව යැව්වාම, ඌ ආවේ ඔලීව කොළයක් හොටෙන් අරගෙනයි. වතුර බැහැලයි කියලා නෝවාට ඒකෙන් තේරුණා. නෝවා තුන්වෙනි පාරටත් පරෙවියාව එළියට යැව්වාම, ඌ ජීවත් වෙන්න තෙත නැති තැනක් කොහොම හරි හොයාගත්තා.

දෙවි නෝවාට කතා කරලා මෙහෙම කිව්වා: ‘නැවෙන් එළියට යන්න. ඔයාගේ පවුලේ හැමෝවමත් සතුනුත් ඔයත් එක්ක ගෙනියන්න.’ සම්පූර්ණ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ඒගොල්ලන් නැව ඇතුලෙයි හිටියේ. ඒ නිසා ආයෙත් එළියට එන්න පුළුවන් වුණ එක ගැනත්, ජීවතුන් අතර හිටපු එක ගැනත්, ඒගොල්ලන් කොච්චර සන්තෝෂ වෙන්න ඇතිද කියලා අපිට හිතාගන්න පුළුවන් නේද?