Skip to content

පටුනට යන්න

කතන්දර 11

පළවෙනි දේදුන්න

පළවෙනි දේදුන්න

නෝවායි එයාගේ පවුලයි නැවෙන් එළියට ආපු ගමන්ම කළේ මොකක්ද කියලා ඔයා දන්නවාද? නෝවා දෙවිට පූජාවක්, නැත්තම් තෑග්ගක් ඔප්පු කළා. පහළ තියෙන පින්තූරයෙන් එයා ඒක කරනවා අපිට පේනවා. දෙවි, එයාගේ පවුල ඒ මහා ජලගැල්මෙන් ආරක්ෂා කරපු නිසා, ඔහුට ස්තූති කිරීමට නෝවා මේ සතුන්ව තෑග්ගක් හැටියට ඔප්පු කළා.

ඒ තෑග්ගට යෙහෝවා කැමති වුණා කියලා ඔයා හිතනවාද? ඔව්, ඔහු කැමති වුණා. ඒ නිසා, ආයෙත් ජලගැල්මකින් මේ ලෝකය කවදාවත්ම විනාශ කරන්නේ නැහැයි කියලා ඔහු නෝවාට පොරොන්දු වුණා.

ඉක්මනටම පොළොව සම්පූර්ණයෙන්ම වේළිලා ගියා. නෝවායි එයාගේ පවුලයි නැවෙන් පිටත අලුත් ජීවිතයක් පටන්ගත්තා. දෙවි ඒගොල්ලන්ට ආශීර්වාද කරලා කිව්වා, ‘ඕගොල්ලන්ට ළමයි ගොඩක් ඉපදෙන්න ඕනේ. පොළොවේ හැම තැනම මිනිස්සු පිරෙනකම් ඕගොල්ලන් ගණනින් වැඩි වෙන්න ඕනේ’ කියලා.

හැබැයි පස්සේ කාලෙක, මේ වගේ මහා ජලගැල්මක් ගැන මිනිස්සුන්ට අහන්න ලැබුණම, ආයෙත් ඒ වගේ එකක් එයි කියලා භය වෙන්න පුළුවන්. ඒ නිසා දෙවි ආයෙ කවදාවත්ම මුළු පොළොවම වතුරෙන් යට කරන්නේ නැහැයි කියන පොරොන්දුව ගැන මිනිස්සුන්ට මතක් වෙන්න යමක් දුන්නා. ඒගොල්ලන්ට මතක් වෙන්න ඔහු දුන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඒ දේදුන්නක්.

වැස්සක් පායල හිරු එළිය වැටුණාම, නිතරම වාගේ අහසේ දේදුන්නක් පේනවා. දේදුනුවල ලස්සන පාට ගොඩක් තියෙන්න පුළුවන්. ඔයා කවදාහරි දේදුන්නක් දැකලා තියෙනවාද? පින්තූරයේ තියෙන එක ඔයාට පේනවාද?

දෙවි මෙහෙම කිව්වා: ‘මීට පස්සේ කවදාවත් මිනිස්සුවයි සත්තුන්වයි ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැයි කියලා මම පොරොන්දු වෙනවා. මගේ දේදුන්න වලාකුළුවල තියනවා. ඒ දේදුන්න පායද්දී, මම ඒක දැක්කාම මගේ මේ පොරොන්දුව මතක් කරගන්නවා.’

ඉතින්, ඔයා දේදුන්නක් දැක්කාම, ඒකෙන් ඔයාට මොකක්ද මතක් වෙන්න ඕනේ? ඔව්, දෙවි ආයෙ කවදාවත් මහා ජලගැල්මකින් මුළු ලෝකයම විනාශ කරන්නේ නැහැයි කියන ඔහුගේ පොරොන්දුවයි.