Skip to content

පටුනට යන්න

කතන්දර 12

මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

අවුරුදු ගණනාවක් ගත වුණා. නෝවාගේ පුත්තුන්ට ළමයි ගොඩක් හිටියා. ඒ අය ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ටත් ළමයි හිටියා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ලෝකය මිනිසුන්ගෙන් පිරුණා.

මේ අයගෙන් එක් කෙනෙක් තමයි නෝවාගේ පුතෙකුගේ මුනුබුරා. එයාගේ නම නිම්රොද්. එයා සතුන්වත් මිනිස්සුන්වත් දඩයම් කරලා මරලා දාපු නපුරු මිනිසෙක්. අනික් මිනිසුන්ව පාලනය කරන්න ඕන වුණ නිසා, එයා තමන්වම රජෙක් බවට පත් කරගත්තා. දෙවි නිම්රොද්ට කැමති වුණේ නැහැ.

ඒ කාලයේ හිටපු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒ හැමෝවම එකට තියාගෙන ඒ අයව පාලනය කරන්නයි නිම්රොද්ට ඕන වුණේ. ඉතින් එයා මොනවාද කළේ කියලා ඔයා දන්නවාද? නුවරක් හදලා ඒකේ ලොකු කොතක් හදන්න කියලා එයා මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු ගඩොල් හදන හැටි ඔයාට පින්තූරෙන් පේනවද?

යෙහෝවා දෙවි මේකට කැමති වුණේ නැහැ. දෙවිට ඕන වුණේ මිනිස්සු මුළු ලෝකයේම ජීවත් වෙනවටයි. හැබැයි ඒ අය කිව්වේ, ‘එන්න! අපි නුවරක් හදලා, අහස තරම් උසට කොතකුත් හදමු. එතකොට අපි හොඳට ප්‍රසිද්ධ වෙයි!’ කියලයි. ඒ අයට ඕන වුණේ, දෙවිට ගෞරවය දෙන්නේ නැතුව, තමන්ටම ගෞරවය ලබාගන්නයි.

ඉතින් දෙවි මේ කොත හදන එක නැවැත්තුවා. ඔහු ඒක කළේ කොහොමද කියලා ඔයා දන්නවාද? එකම භාෂාව කතා කරන එක නවත්තලා, එකපාරටම භාෂා කීපයක් කතා කරන්න සැලැස්සුවා. දැන් ඉතින් මේ නුවර හදන අයට, ළඟ ඉන්න එක්කෙනා කියන දේවත් තේරෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ නුවරට, බාබෙල්, නැත්නම් බබිලෝනිය කියන නම වැටුණේ. ඒකෙ තේරුම, “අවුල් කිරීම.”

මිනිස්සු, බාබෙල් නුවරින් යන්න පටන්ගත්තා. එකම භාෂාව කතා කරපු අය එකට හිටියා. ඊට පස්සේ, මෙහෙම හැදුණ කණ්ඩායම් ලෝකයේ වෙන වෙන තැන්වල ජීවත් වෙන්න පටන්ගත්තා.