Skip to content

පටුනට යන්න

කතන්දර 14

දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි

දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි

ආබ්‍රහම් කරන්න යන දේ ඔයාට පේනවාද? එයාගේ අතේ තියෙන්නේ පිහියක්. එයා එයාගේ පුතාව මරන්න වගෙයි හදන්නේ. ඇයි එයා ඒ වගේ දෙයක් කරන්නේ? ඊට ඉස්සෙල්ලා ආබ්‍රහම්ටයි සාරාටයි ඒගොල්ලන්ගේ පුතාව ලැබුණේ කොහොමද කියලා බලමුද?

ඒගොල්ලන්ට පුතෙක් ලැබෙනවා කියලා දෙවි පොරොන්දු වුණා ඔයාට මතක ඇති. ඒ වුණාට ආබ්‍රහම් හා සාරා හොඳටම වයසයි. ඉතින් මෙහෙම දෙයක් කොහෙත්ම වෙන්න බැහැ වගෙයි පේන්නෙ. කොහොම වුණත්, වෙන්නම බැහැයි කියලා අපි හිතන දේවල් දෙවිට කරන්න පුළුවන් කියලා ආබ්‍රහම් විශ්වාස කළා. ඉතින් මොකද වුණේ?

දෙවි පොරොන්දුව දීලා අවුරුද්දක්ම ගෙවුණා. ආබ්‍රහම්ට වයස අවුරුදු 100ක් හා සාරාට වයස අවුරුදු 90ක් වුණාම තමයි ඒ දෙන්නට ඊසාක් කියලා පිරිමි ළමයෙක් ඉපදුණේ. දෙවි තමන් දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කළා!

ඒත් ඊසාක් ලොකු වුණාට පස්සේ, යෙහෝවා ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කළා. ‘ආබ්‍රහම්!’ කියලා ඔහු කතා කළා. ‘මං මෙහෙ! කියලා ආබ්‍රහම් උත්තර දුන්නා. ඊට පස්සේ දෙවි මෙහෙම කිව්වා: ‘ඔයාගේ පුතා, ඔයාගේ එකම පුතා ඊසාක්ව අරගෙන, මම ඔයාට පෙන්වන කන්දට යන්න. එතනදී ඔයාගේ පුතාව මරලා, එයාව පූජා කරන්න.’

ආබ්‍රහම් එයාගේ පුතාට හුඟක් ආදරෙයි. ඉතින් ආබ්‍රහම් මේ වචන අහලා කොච්චර දුක් වෙන්න ඇතිද? ආබ්‍රහම්ගේ ළමයි කානාන් දේශයේ ජීවත් වෙන්න යනවා කියලාත් දෙවි පොරොන්දු වුණු බව ඔයාට මතක ඇති. ඉතින්, ඊසාක් මැරුණොත් මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? ආබ්‍රහම්ට මේක තේරුණේ නැති වුණත්, එයා දෙවිට කීකරු වුණා.

ආබ්‍රහම් කන්දට නැග්ගාම, එයා ඊසාක්ව ලණුවකින් බැඳලා, එයා හදපු පූජාසනය පිට තිබ්බා. ඊට පස්සේ, එයා පුතාව මරන්න පිහිය අතට ගන්නකොටම දෙවිගේ දූතයා ‘ආබ්‍රහම්, ආබ්‍රහම්!’ කියලා අඬගැහුවා. ‘මං මෙහෙ’ කියලා ආබ්‍රහම් උත්තර දුන්නා.

දෙවි මෙහෙම කිව්වා: ‘ළමයාට රිදවන්නවත් කිසිම දෙයක් කරන්නවත් එපා. ඔයා, ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව, මට දෙන්න කැමති වුණ නිසා, ඔයා මාව විශ්වාස කරනවා කියලා මම දැන් දන්නවා.’

ආබ්‍රහම් දෙවිට කොච්චර ලොකු ඇදහිල්ලක් පෙන්නුවාද! යෙහෝවාට කරන්න බැරි දෙයක් නැහැයි කියලා එයා විශ්වාස කළා. දෙවිට ඊසාක්ව මරණයෙන් නැඟිටවන්න වුණත් පුළුවන් කියලයි එයා විශ්වාස කළේ. ඇත්තටම, දෙවි කැමති වුණේ නැහැ ආබ්‍රහම් ඊසාක්ව මරනවට. ඒ නිසා දෙවි ළඟ තිබුණ පඳුරක බැටළුවෙක් පැටලෙන්න සැලැස්සුවා. ආබ්‍රහම්ට එයාගේ පුතා වෙනුවට බැටළුවව පූජා කරන්න කියලා දෙවි කිව්වා.