Skip to content

පටුනට යන්න

කතන්දර 17

එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු

එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු

මේ පින්තූරේ ඉන්න ළමයි දෙන්නගේ ලොකු වෙනසක් පේනවද? ඒගොල්ලන්ගේ නම් මොනවාද කියලා ඔයා දන්නවාද? දඩයක්කාරයා ඒසව්. බැටළුවන් බලාගන්න පිරිමි ළමයා, යාකොබ්.

ඒසව් හා යාකොබ් කියන්නේ ඊසාක් හා රෙබෙකාගේ නිඹුල් පුතුන් දෙන්නාටයි. ඒසව් හොඳ දඩයක්කාරයෙක් නිසා, පවුලෙ අයට කන්න හොඳ කෑම එයා ගෙදරට ගේනවා. මේ නිසයි ඊසාක් ඒසව්ට වැඩියෙන් ආශා වුණේ. ඒ වුණාට, යාකොබ් අහිංසක, තමන්ගේ පාඩුවේ හිටපු ළමයෙක් නිසා, රෙබෙකා වැඩියෙන් ආදරය කළේ එයාටයි.

ඒගොල්ලන්ගේ සීයා ඒ කියන්නේ ආබ්‍රහම්, ඒ වෙද්දිත් ජීවතුන් අතර හිටියා. ආබ්‍රහම් යෙහෝවා ගැන කතා කරනවා අහන්න යාකොබ් කොච්චර ආස වුණාද කියලා අපිට හිතාගන්න පුළුවන්. එයා වයස අවුරුදු එකසිය හැත්තෑපහේදී මැරුණා. එතකොට නිඹුල් දරුවන් දෙන්නගේ වයස අවුරුදු 15යි.

ඒසව්ට වයස අවුරුදු 40දී එයා කානාන් දේශයේ ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා. මේ ස්ත්‍රීන් යෙහෝවාට නමස්කාර කළේ නැහැ. ඉතින් මේ ගැන ඊසාක් හා රෙබෙකා හුඟාක් දුක් වුණා.

හැබැයි එක දවසක් වුණ දෙයක් නිසා ඒසව්ට එයාගේ මල්ලි යාකොබ් එක්ක හොඳටම තරහ ගියා. ඊසාක් එයාගේ වැඩිමල් පුතාට ආශීර්වාද කරන කාලය ආවා. ඒසව් යාකොබ්ට වඩා වැඩිමල් නිසා, එයාට ආශීර්වාදය ලැබෙයි කියලයි එයා බලාපොරොත්තු වුණේ. ඒ වුණාට, ඒසව්ට ආශීර්වාදය ලබන්න තියෙන අයිතිය එයා මීට ඉස්සෙල්ලා යාකොබ්ට විකුණලයි තිබුණේ. මේ පිරිමි ළමයි දෙන්නා ඉපදුනාම, ආශීර්වාදය ලබාගන්නේ යාකොබ් බව දෙවිත් කියලා තිබුණා. ඉතින් ඒ දේමයි වුණේ. ඊසාක් තම ආශීර්වාදය දුන්නේ එයාගේ පුතා යාකොබ්ටයි.

ඒසව්ට මේ ගැන දැනගන්න ලැබුණාම, එයාට යාකොබ් එක්ක හොඳටම තරහ ගියා. කොච්චර තරහ ගියාද කිව්වොත්, එයා කිව්වා යාකොබ්ව මරනවයි කියලා. රෙබෙකාට මේක ඇහිලා හුඟාක් භය හිතුණා. ඒ නිසා ඇගේ පුරුෂයා වන ඊසාක්ට මෙහෙම කිව්වා: ‘යාකොබ් මේ කානාන් දේශයේ ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් විවාහ කරගනියි කියල මට හරිම බයයි.’

මේක අහපු ඊසාක් යාකොබ්ට කතා කරලා මෙහෙම කිව්වා: ‘කානාන් දේශයේ ස්ත්‍රියක් විවාහ කරගන්න එපා. එහෙම කරන්නේ නැතුව, හාරානයේ ඉන්න ඔයාගේ සීයා බෙතුයෙල්ගේ ගෙදරට යන්න. එයාගේ පුතා වන ලාබන්ගේ දුවෙක්ව විවාහ කරගන්න.’

යාකොබ්, එයාගේ තාත්තා කියපු දේට ඇහුම්කන් දීලා, එයාගේ නෑදෑයන් ඉන්න හාරාන් දේශයට යන්න ඒ වෙලාවේම පිටත් වුණා.