Skip to content

පටුනට යන්න

කතන්දර 20

දීනා අමාරුවේ වැටෙයි

දීනා අමාරුවේ වැටෙයි

දීනා මේ බලන්න යන්නේ කාවද කියලා ඔයාට පේනවාද? එයා බලන්න යන්නේ, කානාන් දේශයේ ඉන්න ගැහැනු ළමයිවයි. ඇගේ තාත්තා යාකොබ්, මේ ගැන සන්තෝෂ වෙනවා කියලා ඔයා හිතනවාද? මේකට උත්තරේ හොයාගන්න ටිකක් ලේසි වෙන්න, කානාන් දේශයේ ඉන්න ස්ත්‍රීන් ගැන ආබ්‍රහම් හා ඊසාක් හිතුව දේ මතක් කරන්න බලන්න.

ආබ්‍රහම්ගේ පුතා ඊසාක්, කානාන් දේශයේ ගැහැනු ළමයෙක්ව විවාහ කරගන්නවාට ආබ්‍රහම් කැමති වුණාද? නැහැ, එයා කැමති වුණේ නැහැ. ඊසාක්ගේ හා රෙබෙකාගේ පුතා යාකොබ්, කානාන් දේශයේ ගැහැනු ළමයෙක්ව විවාහ කරගන්නවාට, ඒගොල්ලන් කැමති වෙයිද? නැහැ, ඒගොල්ලනුත් කැමති වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

කානාන් දේශයේ ජීවත් වුණ මිනිස්සු නමස්කාර කළේ බොරු දෙවිවරුන්ටයි. ඉතින් මේ අයව විවාහ කරගන්න හොඳ නැහැ. මේ අය එක්ක යාළු වෙන එකත් හොඳ නැහැ. ඒ නිසා, කානාන් දේශයේ ගැහැනු ළමයි එක්ක එයාගේ දුව යාළු වෙනවා දකින්න යාකොබ් කොහෙත්ම කැමති වුණේ නැහැ.

එහෙම නම්, දීනා අමාරුවේ වැටුණ එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. දීනා දිහා බලන් ඉන්න අර කානාන් ජාතිකයාව ඔයාට පේනවාද? එයාගේ නම ෂෙඛෙම්. දවසක්දා දීනා මෙහෙම ආවාම ෂෙඛෙම් ඈව අරගෙන ගිහින්, එයාත් එක්ක නිදාගන්න කියලා ඇයට බල කළා. මෙහෙම කරන එක වැරදියි. විවාහ වෙලා ඉන්න දෙන්නෙක්ට විතරයි එකට නිදාගන්න පුළුවන්. ෂෙඛෙම් දීනාට කරපු මේ නරක දේ නිසා තව ගොඩක් කරදර ඇති වුණා.

සිද්ධ වුණ දේ දැනගත්තාම, දීනාගේ අයියලාට හොඳටම තරහ ගියා. කොච්චර තරහ ගියාද කිව්වොත්, ඒගොල්ලන්ගෙන් දෙන්නෙක්, ඒ කියන්නේ සිමියොන් හා ලෙවී, කඩු අරගෙන ඒ නගරයට ගියා. එහේ ජීවත් වුණ මිනිස්සුන්ව ඒ අය හිතපු නැති අවස්ථාවක අල්ලාගත්තා. ඒගොල්ලන්, ඒගොල්ලන්ගේ සහෝදරයන් එක්ක, ෂෙඛෙම්වයි අනික් මිනිස්සුන්වයි මරලා දැම්මා. එයාගේ පුත්තු කරපු මේ නරක දේ ගැන යාකොබ්ට හොඳටම තරහ ගියා.

මේ කරදර ඔක්කොම පටන්ගත්තේ කොහොමද? දෙවිගේ නීතිවලට කීකරු වුණේ නැති අය එක්ක දීනා යාළු වුණ නිසයි. ඒ වගේ අය එක්ක යාළු වෙන්න අපිත් කැමති නෑ නේද?