Skip to content

පටුනට යන්න

කතන්දර 21

සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි

සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි

බලන්න මේ පිරිමි ළමයා කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා! මේ යෝසෙප්. එයාගේ සහෝදරයන් ඊජිප්තුවට යන මේ මිනිස්සු කට්ටියට මේ දැන් එයාව විකුණුවා විතරයි. ඊජිප්තුවේදී යෝසෙප් වහලෙක් වෙනවා. එයාගේ අර්ධ සහෝදරයෝ මේ නපුරු දේ කළේ ඇයි? ඒගොල්ලන් යෝසෙප්ට හුඟක් ඊර්ෂ්‍යා කරපු නිසයි.

ඒගොල්ලන්ගේ තාත්තා ඒ කියන්නේ යාකොබ්, යෝසෙප්ට හුඟාක් ආදරෙයි. යෝසෙප්ට තිබුණ ආදරේ පෙන්නන්න යාකොබ් එයාට ලස්සන දිග සළුවක් මහලා දුන්නා. යාකොබ් යෝසෙප්ට කොච්චර ආදරේද කියලා අයියලා 10දෙනා දැක්කාම, ඒගොල්ලන් යෝසෙප්ට ඊර්ෂ්‍යා කරන්නත් එයාට වෛර කරන්නත් පටන්ගත්තා. ඒ වුණාට එයාට වෛර කළේ ඒ නිසා විතරක්ම නෙවෙයි.

යෝසෙප් දැක්කා හීන දෙකක්. යෝසෙප් දැක්ක මේ හීන දෙකේම එයාගේ සහෝදරයෝ එයාට වැන්දා. යෝසෙප් මේ හීන ගැන එයාගේ සහෝදරයන්ට කිව්වාම, ඒගොල්ලන්ගේ වෛරය තවත් වැඩි වුණා.

දවසක්දා යෝසෙප්ගේ අයියලා තාත්තාගේ බැටළුවන් බලාගෙන හිටියා. යාකොබ් යෝසෙප්ට කතා කරලා කිව්වා, ඒගොල්ලන් කරදරයක් නැතුව ඉන්නවාද කියලා බලාගෙන එන්න කියලා. එයා එනවා දැක්කාම, යෝසෙප්ගේ සහෝදරයන්ගෙන් සමහරදෙනෙක් මෙහෙම කිව්වා: ‘අපි එයාව මරමු!’ ඒ වුණාට වැඩිමල් සහෝදරයා, ඒ කියන්නේ රූබෙන් කිව්වා ‘එපා, එපා, එහෙම කරන්න එපා!’ කියලා. ඉතින් මරන්නේ නැතුව, ඒගොල්ලන් යෝසෙප්ව උස්සගෙන ගිහින් දැම්මේ වතුර හිඳුණු පාළු ළිඳකටයි. ඊට පස්සේ ඒගොල්ලන් කල්පනා කළේ දැන් එයාට මොනවද කරන්නේ කියලයි.

එතකොටම ඉෂ්මායෙල්වරුන් කීපදෙනෙක් ඈත එනවා ඒ අය දැක්කා. යූදා එයාගේ අර්ධ සහෝදරයන්ට කතා කරලා මෙහෙම කියනවා: ‘අපි එයාව ඉෂ්මායෙල්වරුන්ට විකුණලා දාමු.’ ඉතින් ඒගොල්ලන් කළේ ඒකයි. යෝසෙප්ව රිදී කාසි 20කට ඒගොල්ලන් වික්කා. මෙහෙම කරන එක කොච්චර නපුරුද!

දැන් මේ සහෝදරයන් ඒගොල්ලන්ගේ තාත්තාට කියන්නේ මොකක්ද? ඒ අය එළුවෙක්ව මරලා ඒ එළුවාගේ ලේවලින් යෝසෙප්ගේ ලස්සන ඇඳුම පෙඟෙව්වා. ඊට පස්සේ තාත්තාට පෙන්නන්න ඒ ඇඳුම ගෙදර ගෙනිච්චා. ඒක පෙන්නලා මෙහෙම කිව්වා: ‘අපිට මේක හම්බ වුණා. බලන්න මේක යෝසෙප්ගේ සළුව නේද කියලා.’

යාකොබ් දැක්ක ගමන්ම ඒක අඳුරගත්තා. ‘අනේ, කැලේ සතෙක් යෝසෙප්ව මරන්න ඇති’ කියලා එයා අඬන්න ගත්තා. යෝසෙප්ගේ සහෝදරයන්ට ඕන වුණෙත් තාත්තාට එහෙම හිතෙන්න සලස්වන්නයි. යාකොබ්ට හුඟාක් දුකයි. එයා දවස් ගණනක් අඬනවා. ඒ වුණාට යෝසෙප් ඇත්තටම මැරිලා නැහැ. එයාට මොනවාද වුණේ කියල අපි බලමුද?