Skip to content

පටුනට යන්න

කතන්දර 26

යෝබ් දෙවිට විශ්වාසවන්තයි

යෝබ් දෙවිට විශ්වාසවන්තයි

ලෙඩින් ඉන්න මේ මිනිසා ගැන ඔයාට දුක හිතෙන්නේ නැද්ද? එයාගේ නම යෝබ්. මේ ස්ත්‍රිය එයාගේ භාර්යාවයි. ඈ යෝබ්ට කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද? ‘දෙවිට ශාප කරලා මැරෙන්න’ කියලයි කියන්නේ. ඇයි ඇය එහෙම දෙයක් කියන්නේ? ඒ ගැනත්, යෝබ් මෙච්චර දුක් විඳින්නේ ඇයි කියලත් බලමු.

යෝබ් යෙහෝවාට කීකරු වුණ විශ්වාසවන්ත මිනිසෙක්. එයා ඌශ් දේශයෙයි ජීවත් වුණේ. මේ දේශය කානාන් රටට කිට්ටුයි. යෙහෝවා යෝබ්ට හුඟක් ආදරෙයි. ඒ වුණාට එයාට වෛර කරපු කෙනෙක් හිටියා. ඒ කවුද කියලා ඔයා දන්නවාද?

ඒ සාතන් කියන යක්ෂයා. සාතන් කියන්නේ යෙහෝවාට වෛර කරන නරක දේවදූතයා කියල ඔයාට මතකද? එයාට පුළුවන් වුණා ආදම් හා ඒවව යෙහෝවාට අකීකරු කරවන්න. එයා හිතුවා අනිත් හැමදෙනාවමත් යෙහෝවාට අකීකරු කරවන්න පුළුවන් වෙයි කියලා. එයාට එහෙම කරන්න පුළුවන් වුණාද? කොහොමටවත් නැහැ. ටිකක් හිතලා බලන්න, විශ්වාසවන්ත මිනිසුන් හා ස්ත්‍රීන් කීදෙනෙක් ගැන අපි ඉගෙනගත්තාද කියල. මේ අයගෙන් කීදෙනෙක්වද ඔයාට මතක?

යාකොබ් හා යෝසෙප් ඊජිප්තුවේදී මැරුණාට පස්සේ, මුළු ලෝකයෙන්ම යෙහෝවාට වැඩියෙන්ම විශ්වාසවන්තව හිටියේ යෝබ්. යෙහෝවාට ඕන වුණේ සාතන්ට හැමදෙනාවම නරක පැත්තට හරවගන්න බැහැයි කියලා පෙන්වන්නයි. ඉතින් ඔහු එයාට මෙහෙම කිව්වා: ‘යෝබ් දිහා බලන්න. එයා මට කොච්චර විශ්වාසවන්තද කියල බලන්න.’

‘ඇයි ඉතින්, ඔබ එයාට ආශීර්වාද කරනවානේ. එයාට හොඳ දේවල් ඕන තරම් තියෙනවා. ඒ නිසා එයා ඔබට විශ්වාසවන්තයි. ඒ වුණාට ඔබ ඒ දේවල් එයාගෙන් ගත්තොත් එයා ඔබට අනිවාර්යයෙන්ම ශාප කරාවි’ කියලා සාතන් කිව්වා.

ඒ නිසා යෙහෝවා කිව්වා ‘ඔයාට ඕනෙ නම් ඒවා නැති කරන්න. යෝබ්ට ඔයා කරන්න කැමති ඕනෙම නපුරු දෙයක් කරන්න. බලමු එයා මට ශාප කරයිද නැද්ද කියලා. හැබැයි එයාව මරන්න නම් එපා.’

මුලින්ම යෝබ්ගේ ගවයන් හා එයාගේ ඔටුවන් හොරකම් කරන්න, සාතන් හොරුන්ව එව්වා. බැටළුවන්වත් මරලා දැම්මා. ඊට පස්සේ එයාගේ ළමයි 10දෙනාව කුණාටුවකින් මැරුවා. ඊළඟට සාතන් යෝබ්ට මේ අමාරු ලෙඩේ හැදෙන්න සැලැස්සුවා. යෝබ් ගොඩක් දුක් වින්දා. ‘දෙවිට ශාප කරලා මැරෙන්න’ කියලා යෝබ්ගේ භාර්යාව එයාට කිව්වේ මේ නිසයි. ඒ වුණාට යෝබ් එහෙම කළේ නැහැ. යෝබ් ගත කරල තියෙන්නේ නරක ජීවිතයක් කියලා, බොරුවට යාළුකම් පෙන්නන තුන්දෙනෙක් ඇවිල්ලා එයාට කිව්වා. හැබැයි යෝබ් නෙවෙයි ඇදහිල්ල අතහැරියේ.

යෙහෝවා මේ ගැන හුඟක් සන්තෝෂ වුණා. ඊට පස්සේ මේ පින්තූරයේ පේන විදිහට යෙහෝවා යෝබ්ට ආශීර්වාද කළා. ඔහු එයාගේ ලෙඩෙත් සුව කළා. යෝබ්ට තව ලස්සන ළමයින් 10දෙනෙක්ම ලබා දුන්නා. එයාට කලින් හිටිය ගවයන්, බැටළුවන් හා ඔටුවන් වගේ දෙගුණයකුත් ලැබුණා.

ඔයාත් යෝබ් වගේ හැම තිස්සේම යෙහෝවාට විශ්වාසවන්ත වෙනවාද? එහෙම වෙනවා නම්, දෙවි ඔයාටත් ආශීර්වාද කරයි. මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන වුණාම ඔයාටත් එහේ සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන්.