Skip to content

පටුනට යන්න

කතන්දර 32

වසංගත 10

වසංගත 10

මේ පින්තූරු දිහා බලන්න. හැම එකකින්ම පෙන්වන්නේ යෙහෝවා ඊජිප්තුවට ගෙනා වසංගතයි. පළවෙනි පින්තූරයෙන් ඔයාට පේන්නේ ආරොන් එයාගේ සැරයටියෙන් නයිල් ගඟට ගහන හැටියි. එයා එහෙම කරද්දී, නයිල් ගඟේ වතුර ලේ බවට හැරුණා. ඒකේ හිටපු මාළු මැරුණ නිසා ගඟේ පිළි ගඳක් ඇති වුණා.

ඊළඟට, යෙහෝවා නයිල් ගඟෙන් ගෙම්බො එළියට එන්න සැලැස්සුවා. උන් හැම තැනම හිටියා—පෝරණුවල, තාච්චිවල, මිනිස්සුන්ගේ ඇඳන්වල—හැම තැනම. මේ ගෙම්බො මැරුණාම ඊජිප්තුවරුන් උන්ව ගොඩගැහුවා. දැන් මුළු දේශයම ගඳයි.

ඊට පස්සේ ආරොන් එයාගේ සැරයටිය අරං පොළොවට ගැහුවා. එතකොට දූවිල්ල කිනිතුල්ලෝ බවට හැරුණා. කිනිතුල්ලෝ කියන්නේ මිනිස්සුන්ව හපන, පොඩි මැක්කන් ජාතියක්. ඊජිප්තු දේශයට ගෙනාපු තුන්වෙනි වසංගතය කිනිතුල්ලන්ගේ වසංගතයයි.

ඉතුරු වසංගතවලින් දුක් වින්දේ ඊජිප්තුවරුන් විතරයි. ඉශ්‍රායෙල් සෙනඟ දුක් වින්දේ නැහැ. හැම ඊජිප්තුවරයෙක්ගේම ගෙදරට රංචු හැටියට ආ ලොකු මැස්සෝ ජාතියක් තමයි හතරවෙනි වසංගතය වුණේ. පස්වෙනි වසංගතයෙන් සත්තු මැරුණා. ඊජිප්තුවරුන්ගේ ගවයන්, බැටළුවන් හා එළුවන් ගොඩාක් මැරුණා.

ඊළඟට මෝසෙස් හා ආරොන් අළු ටිකක් අරං අහසට විසි කළා. මේකෙන් මිනිස්සුන්ටත් සතුන්ටත් වණ හැදෙන්න පටන්ගත්තා. ඒ හයවෙනි වසංගතයයි.

ඒකෙන් පස්සේ මෝසෙස් එයාගේ අත අහසට එසෙව්වාම යෙහෝවා අකුණු ගැසීම් හා ගල් වැස්සක් ඇති වෙන්න සැලැස්සුවා. මේ තරම් භයානක ගල්වැස්සක් ඊට කලින් ඊජිප්තුවේ කවදාවත් ඇති වෙලා නැහැ.

අටවෙනි වසංගතය විශාල පළඟැටි රංචුවක්. ඊට කලින්වත් ඊට පස්සෙවත් පළඟැටියන් මේ තරම් ප්‍රමාණයක් හිටියේ නැහැ. ගල්වැස්සෙන් විනාශ වුණේ නැති හැම දෙයක්ම උන් කාලා දැම්මා.

නවවෙනි වසංගතය අන්ධකාරයයි. දවස් තුනක් මුළු දේශයම තද අන්ධකාරයකින් වැහුණා. ඒ වුණාට ඉශ්‍රායෙල්වරුන්ට ඒක බලපෑවේ නැහැ.

අවසානයේදී, දෙවි ඔහුගේ සෙනඟට කිව්වා බැටළු පැටියෙක්ගේ හරි එළු පැටියෙක්ගේ හරි ලේ අරගෙන, ඒගොල්ලන්ගේ උළුවහුවල ඉහින්න කියලා. ඊට පස්සේ දෙවිගේ දූතයා ඊජිප්තු දේශය හරහා ගමන් කළා. දේවදූතයා ඒ ලේ දැක්කාම, ඒ ගෙදර කාවවත් මැරුවේ නැහැ. ඒ වුණාට උළුවහුවල ලේ තිබුණේ නැති ගෙවල් පහු කරගෙන යද්දී, දේවදූතයා ඒ පවුලේ වැඩිමලාව මැරුවා. සතුන්ගේ පළමුවෙනි පැටියාවත් මරලා දැම්මා. මේක තමයි 10වෙනි වසංගතය.

මේ අන්තිම වසංගතයෙන් පස්සේ, ඉශ්‍රායෙල්වරුන්ට පිට වෙලා යන්න කියලා ඵාරාවෝ කිව්වා. දෙවිගේ සෙනඟ පිට වෙන්න සූදානම් වෙලයි හිටියේ. ඉතින් එදා රෑම, ඒගොල්ලන් ඊජිප්තුවෙන් පිට වෙලා යන්න පටන්ගත්තා.