Skip to content

පටුනට යන්න

කතන්දර 33

රතු මුහුද හරහා යෑම

රතු මුහුද හරහා යෑම

බලන්න මේ මොනවාද වෙන්නේ කියලා! රතු මුහුද දිහාවට සැරයටිය දික් කරගෙන ඉන්නේ මෝසෙස්. එයාත් එක්ක ඒ පැත්තේ බේරිලා ඉන්න අය ඉශ්‍රායෙල්වරු. ඒ වුණාට ඵාරාවෝ හා එයාගේ මුළු හමුදාවම මුහුදේ ගිලෙනවා. මේක වුණේ කොහොමද කියලා බලමු.

අපි ඉගෙනගත්ත හැටියට, දෙවි ඊජිප්තුවරුන්ට 10වෙනි වසංගතය ගෙනාවාට පස්සේ ඵාරාවෝ ඉශ්‍රායෙල්වරුන්ට කිව්වා ඊජිප්තුවෙන් පිට වෙලා යන්න කියලා. ස්ත්‍රීන් හා ළමයින් හැර ඉශ්‍රායෙල් ජාතික පිරිමි අය විතරක් ලක්ෂ හයක් පමණ ඊජිප්තුවෙන් පිට වුණා. යෙහෝවා ගැන විශ්වාසය ඇති කරගත්ත, තව විශාල සෙනඟකුත් ඉශ්‍රායෙල්වරුන් එක්ක පිට වෙලා ගියා. ඒ හැමදෙනාම ඒගොල්ලන්ගේ එළු, බැටළු, ගව රැළවල් ඒගොල්ලන් එක්ක ගෙනගියා.

ඉශ්‍රායෙල්වරු පිට වෙලා යන්න ඉස්සෙල්ලා, ඒගොල්ලන් ඊජිප්තුවරුන්ගෙන් ඇඳුම් පැළඳුම් වගේම රත්තරන් හා රිදීවලින් හදපු දේවලුත් ඉල්ලුවා. ඊජිප්තුවරුන් පිටට ආව අන්තිම වසංගතය නිසා, ඒගොල්ලන් හොඳටම භය වෙලයි හිටියේ. ඉතින් ඉශ්‍රායෙල්වරු ඉල්ලපු හැම දෙයක්ම ඒගොල්ලන්ට දුන්නා.

දවස් කිහිපයකට පස්සේ ඉශ්‍රායෙල්වරු රතු මුහුද ළඟට ඇවිත් නැවතුණා. ඒ අතරතුරේදී, ඉශ්‍රායෙල්වරුන්ට යන්න දුන්න එක හරිම පාඩුවක් කියලා ඵාරාවෝත් එයාගේ මිනිස්සුත් හිතන්න පටන්ගත්තා. ‘අයියෝ, අපි අපේ වහලුන්ට බේරිලා යන්න ඉඩ දුන්නානේ!’ කියලා ඒගොල්ලන් කිව්වා.

ඉතින් ආයෙත් ඵාරාවෝ එයාගේ හිත වෙනස් කරගත්තා. ඉක්මනට එයා යුද්ධයට ගෙනියන අශ්ව කරත්තයයි එයාගේ හමුදාවයි ලෑස්ති කරගත්තා. වටිනා අශ්ව කරත්ත හයසියයක් හා ඊජිප්තුවේ තිබුණ අනිත් හැම අශ්ව කරත්තයක්ම අරං එයා ඉශ්‍රායෙල්වරුන් පිටිපස්සේ එළවාගෙන ගියා.

ඵාරාවෝ හා එයාගේ හමුදාව ඒගොල්ලන්ව අල්ලාගන්න එනවා දකිනකොට, ඉශ්‍රායෙල්වරුන්ට හුඟක් භය හිතුණා. පැනගන්න විදිහක් තිබුණේම නැහැ. ඒගොල්ලන්ගේ එක පැත්තකින් තිබුණේ රතු මුහුදයි. අනිත් පැත්තෙන් ඊජිප්තුවරු එනවා. නමුත් යෙහෝවා ඔහුගේ සෙනඟයි ඊජිප්තුවරුනුයි අතරේ වලාකුළක් තිබ්බා. ඊජිප්තුවරුන්ට ඉශ්‍රායෙල් සෙනඟව පෙනුණේ නැති නිසා ඒගොල්ලන්ට පහර දෙන්න බැරි වුණා.

ඊට පස්සේ යෙහෝවා මෝසෙස්ට කිව්වා එයාගේ සැරයටිය රතු මුහුද දිහාවට දික් කරන්නයි කියලා. එයා එහෙම කරද්දී, යෙහෝවා නැඟෙනහිර දිශාවෙන් තද හුළඟක් හමන්න සැලැස්සුවා. මුහුද බිත්ති දෙකක් වගේ හිටින විදිහට දෙකට බෙදුණා.

එතකොට ඉශ්‍රායෙල්වරු මුහුද මැදින් වියළි බිම හරහා ඇවිදින්න පටන්ගත්තා. ඒ මිනිස්සු මිලියන ගණනට ඒගොල්ලන්ගේ හැම සතෙක්ම අරගෙන ඒ මුහුද මැදින් පරිස්සමෙන් අනිත් පැත්තට යන්න පැය ගණනාවක් ගත වෙන්න ඇති. අන්තිමේදී ඊජිප්තුවරුන්ට ඉශ්‍රායෙල්වරුන්ව දැකගන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ වහල්ලු පැනලා යනවා ඒගොල්ලන් දැක්කා! ඉතින් ඒගොල්ලන්ව එළවාගෙන ඊජිප්තුවරු මුහුදට ඇතුල් වුණා.

එහෙම යද්දී දෙවි ඒගොල්ලන්ගේ කරත්තවල රෝද ගැළවිලා වැටෙන්න සැලැස්සුවා. ඊජිප්තුවරුන්ට හුඟක් භය හිතිලා ‘යෙහෝවා ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් අපිට විරුද්ධව සටන් කරනවා. අපි ඉක්මනටම මෙතනින් පැනගමු’ කියලා කෑගැහුවා. ඒ වුණාට දැන් ඒකට පරක්කු වැඩියි.

ඔයා පින්තූරයෙන් දැක්කා වගේ, මෝසෙස්ගේ සැරයටිය රතු මුහුද දිහාවට දික් කරන්න කියලා යෙහෝවා එයාට කිව්වේ මේ වෙලාවෙයි. මෝසෙස් එහෙම කරද්දී, දෙපැත්තේ බිත්ති දෙකක් වගේ තිබුණ වතුර ආයෙත් ගලාගෙන ඇවිත් ඊජිප්තුවරුන්ව හා ඒගොල්ලන්ගේ කරත්ත යට කළා. මුළු හමුදාවම ඉශ්‍රායෙල්වරුන්ව පන්නගෙන මුහුද මැදටම ඇවිල්ලයි හිටියේ. එක ඊජිප්තුවරයෙක්වත් ඉතුරු වුණේ නැහැ!

ඒගොල්ලන් බේරුණ එක ගැන දෙවිගේ සෙනඟ හැමෝම කොයිතරම් සන්තෝෂ වෙන්න ඇතිද! පුරුෂයන් හැමදෙනාම යෙහෝවාට ස්තූති කරන්න මෙහෙම ගීයක් ගායනා කළා: ‘යෙහෝවා ලැබුවා උතුම් ජයග්‍රහණයක්. අශ්වයන් හා උන් පිට ගමන් කරපු අයවත් ඔහු මුහුදේ වැටෙන්න සැලැස්සුවා.’ මෝසෙස්ගේ අක්කා මිරියාම් එයාගේ රබාන අතට ගනිද්දී, ස්ත්‍රීන් හැමදෙනාමත් ඒගොල්ලන්ගේ රබන් අතට අරන් ඇය මෙන් රබන් ගැසුවා. ඒගොල්ලන් සන්තෝෂයෙන් නට නට පුරුෂයන් ගායනා කරන ගීයම ගායනා කළා: ‘යෙහෝවා ලැබුවා උතුම් ජයග්‍රහණයක්. අශ්වයන් හා උන් පිට ගමන් කරපු අයවත් ඔහු මුහුදේ වැටෙන්න සැලැස්සුවා.’