Skip to content

පටුනට යන්න

කතන්දර 34

අලුත් කෑම ජාතියක්

අලුත් කෑම ජාතියක්

ඔයාට කියන්න පුළුවන්ද මේ මිනිස්සු ඇහිඳින්නේ මොනවාද කියලා? ඒක හිම වගේ දෙයක්. ඒවා සුදු පාට, හීනි, පොඩි පෙති වගෙයි. ඒ වුණාට ඒවා හිම නෙවෙයි, කන්න පුළුවන්.

ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වෙලා, දැන් මාසයක් විතර පහු වෙලයි තියෙන්නේ. ඒගොල්ලන් දැන් ඉන්නේ පාළුකරයේ. පාළුකරයේ ආහාර හිඟ නිසා මිනිස්සු කෙඳිරිගගා මෙහෙම කියනවා: ‘අනේ, යෙහෝවා අපිව ඊජිප්තුවේදී මරලා දැම්මා නම් මීට වඩා හොඳයි. අඩු ගානේ අපි කන්න ආස කෑමවත් එහේ තිබුණනේ.’

ඉතින් යෙහෝවා කියනවා ‘මම අහසෙන් කෑම වැටෙන්න සලස්වනවා’ කියලා. ඊළඟ දවසේ උදේ ඉශ්‍රායෙල්වරුන්ට මේ සුදු පාට දෙය පේන්න තියෙනවා. ‘මේ මොනවාද’ කියලා ඒගොල්ලන් එක් එක්කෙනාගෙන් අහනවා.

‘ඕගොල්ලන්ට කන්න යෙහෝවා දීලා තියෙන කෑම තමයි මේ’ කියලා මෝසෙස් කියනවා. මිනිස්සු ඒකට මන්නා කියල නම තිබ්බා. ඒක පැණිවලින් හදපු හීනි කේක් පෙති වගේ.

‘ඕගොල්ලන්ට කන්න පුළුවන් තරම විතරක් එකතු කරගන්න’ කියලා මෝසෙස් මිනිස්සුන්ට කියනවා. ඉතින් හැමදාම ඒගොල්ලන් උදේට මෙහෙම මන්නා එකතු කරගන්නවා. ඉර පායාගෙන එන කොට පොළොවේ ඉතුරු වෙලා තියෙන මන්නා ටික දිය වෙලා යනවා.

‘මන්නා ටිකක්වත් හෙටට තියාගන්න එපා’ කියලත් මෝසෙස් කියනවා. ඒ වුණාට ටිකදෙනෙක් කියන දේ අහන්නේ නැහැ. මොනවාද දන්නවාද වෙන්නේ? ඊළඟ දවසේ උදේ බලනකොට ඒගොල්ලන් ඉතුරු කරලා තිබුණ මන්නාවලට පණුවො ගහලා. ගඳ ගහන්නත් පටන්ගන්නවා!

කොහොම වුණත්, යෙහෝවා මිනිස්සුන්ට කියනවා ඒගොල්ලන් සාමාන්‍යයෙන් එකතු කරන මන්නා ප්‍රමාණය වගේ දෙගුණයක් සතියේ එක දවසක එකතු කරගන්න ඕනේ කියලා. මෙහෙම කරන්න ඕනේ හයවෙනි දවසේදියි. යෙහෝවා හත්වෙනි දවසේදී මන්නා වැටෙන්න සලස්වන්නේ නැති නිසා, ඒකෙන් ටිකක් ඊළඟ දවසටත් තියාගන්න කියලා යෙහෝවා කියනවා. ඒගොල්ලන් හත්වෙනි දවසට මන්නා තියාගත්තාම, ඒකට පණුවෝ ගහන්නෙවත් ඒක ගඳ ගහන්නේවත් නැහැ! මේක තවත් පුදුමයක් නේද?

ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ ඉන්නකම් හැමදාම යෙහෝවා ඒගොල්ලන්ට මන්නා කන්න දෙනවා.