Skip to content

පටුනට යන්න

කතන්දර 36

රන් වසුපැටියා

රන් වසුපැටියා

අයියෝ! මේ මිනිස්සු දැන් කරන්නේ මොනවාද? ඒගොල්ලන් වසුපැටියෙකුට යාච්ඤා කරනවා! ඇයි ඒගොල්ලන් මේ වගේ දෙයක් කරන්නේ?

මෝසෙස් කන්දේ ගොඩක් දවස් නැවතිලා ඉන්න කොට මිනිස්සු මෙහෙම කියන්න ගත්තා: ‘මෝසෙස්ට මොනවා වෙලාද දන්නේ නැහැ. ඒ නිසා අපිව මේ දේශයෙන් එළියට ගෙනියන්න අපි දෙවිකෙනෙක්ව හදාගමු.’

‘හොඳයි, ඕගොල්ලන්ගේ රත්තරන් කරාබු ගළවලා, ඒවා මට දෙන්න’ කියලා මෝසෙස්ගේ සහෝදරයා ආරොන් කියනවා. මිනිස්සු ඒවා ගෙනාවාම, ආරොන් ඒවා දිය කරලා ඒකෙන් රන් වසුපැටියෙක් හදනවා. එතකොට මිනිස්සු මෙහෙම කියනවා ‘ඊජිප්තුවෙන් අපිව එළියට ගෙනාපු අපේ දෙවියොයි මේ!’ ඊට පස්සේ ඉශ්‍රායෙල්වරු ලොකු උත්සවයක් පවත්වලා ඒ රන් වසුපැටියාට නමස්කාර කරනවා.

මේක දැකලා යෙහෝවාට හොඳටම තරහ යනවා. ඉතින් ඔහු මෝසෙස්ට කතා කරලා මෙහෙම කියනවා: ‘ඉක්මන් කරලා බහින්න. මිනිස්සු හරිම නරක විදිහටයි හැසිරෙන්නේ. ඒගොල්ලන් මගේ නීති අමතක කරලා රන් වසුපැටියෙකුට නමස්කාර කරනවා.’

මෝසෙස් ඉක්මනින්ම කන්දෙන් බැහැලා එනකොට එයා දකින්නේ මේකයි. රන් වසුපැටියා වටේ මිනිස්සු සින්දු කිය කිය නටනවා! මෝසෙස්ට කොච්චර තරහ ගියාද කිව්වොත් එයා නීති ලියලා තිබුණු ඒ ගල්ලෑලි දෙක පොළොවේ ගහනවා. ඒවා කෑලි කෑලිවලට කැඩිලා යනවා. ඊට පස්සේ එයා රන් වසුපැටියා අරන් ඒක දිය කරලා ඒක දූවිලි වෙන කම් කුඩු කරනවා.

මේ මිනිස්සු හරිම නරක දෙයක් කරලා තියෙන්නේ. ඉතින් මෝසෙස් මිනිසුන්ගෙන් ටිකදෙනෙක්ට කියනවා ඒගොල්ලන්ගේ කඩු අතට ගන්න කියලා. ‘රන් වසුපැටියාට නමස්කාර කරපු නරක අයව මරලා දාන්න’ කියලා මෝසෙස් කියනවා. ඉතින් ඒගොල්ලන් තුන්දහස්දෙනෙක්ව මරනවා! බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැතුව, යෙහෝවාට විතරක් අපි නමස්කාර කරන්න ඕනේ කියලා මේකෙන් පෙන්නනවා නේද?