Skip to content

පටුනට යන්න

කතන්දර 37

නමස්කාරයට කූඩාරමක්

නමස්කාරයට කූඩාරමක්

මේ මොකක්ද කියලා ඔයා දන්නවාද? මේ යෙහෝවාට නමස්කාර කරන්න හැදුව විශේෂ කූඩාරමක්. මේකට මණ්ඩපය කියලාත් කියනවා. මිනිස්සු ඊජිප්තුවෙන් ඇවිත් අවුරුද්දක් ගියාට පස්සෙයි මේක හදලා ඉවර කළේ. මේක හදන්න කියලා කිව්වේ කවුද කියලා ඔයා දන්නවාද?

යෙහෝවායි ඒක හදන්න කිව්වේ. මෝසෙස් සීනයි කන්දේ ඉන්න කොට ඒක හදන්න ඕනේ කොහොමද කියලා යෙහෝවා එයාට කිව්වා. ලෙහෙසියෙන්ම කොටස්වලට වෙන් කරන්න පුළුවන් වෙන විදිහටයි ඒක හදන්න කියලා ඔහු කිව්වේ. මෙහෙම කරන එකෙන් ඒක වෙන තැනකට අරන් ගිහින් ආයෙත් හදන්න පුළුවන් වෙනවා. ඉතින් ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ තැනින් තැනට යද්දි ඒ කූඩාරමත් ඒගොල්ලන් අරගෙන ගියා.

කූඩාරමේ කෙළවරේම තියෙන අර පොඩි කාමරය ඇතුලේ බැලුවොත්, ඔයාට පෙට්ටියක් පේනවා ඇති. ඒකට කිව්වේ ගිවිසුම් පෙට්ටිය කියලයි. ඒකේ දෙපැත්තේ කොන් දෙකේ හිටියා රත්තරන්වලින් හැදුව දේවදූතයන් නැත්නම් කෙරුබ්වරුන් දෙන්නෙක්. මෝසෙස්ට ලැබුණ පළවෙනි ගල්ලෑලි දෙක එයා කඩලා දැම්ම නිසා, දෙවි ආයෙත් ගල්ලෑලි දෙකක දස පනත ලිව්වා. මේ ගල්ලෑලි ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තිබ්බා. මන්නා දාල තිබුණ භාජනයකුත් ඒක ඇතුලේ තිබුණා. මන්නා කියන්නේ මොනවද කියලා ඔයාට මතකද?

යෙහෝවා, උත්තම පූජකයා හැටියට තෝරාගන්නේ මෝසෙස්ගේ සහෝදරයා වන ආරොන්වයි. යෙහෝවාට නමස්කාර කරන්න මිනිස්සුන්ට මඟ පෙන්වන්න යන්නේ එයායි. එයාගේ පුතුනුත් පූජකයන් හැටියටයි වැඩ කරන්නේ.

දැන් ඒ කූඩාරමේ ලොකු කාමරය දිහා බලන්න. ඒක පොඩි කාමරය වගේ දෙගුණයකින් ලොකුයි. පොඩි පෙට්ටියකින් දුම් ටිකක් නඟිනවා ඔයාට පේනවාද? පූජකවරුන් සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයයි ඒ. පහන් හතක් තියෙන පහන් කණුවකුත් එතන තියෙනවා. ඒ කාමරයේ තුන්වෙනියට තියෙන්නේ මේසයක්. ඒක උඩ රොටි 12ක් තියලා තියෙනවා.

මේ මණ්ඩපයේ මළුවේ තිබුණා වතුරෙන් පිරුණ ලොකු භාජනයක්, නැත්නම් බේසමක්. පූජකවරුන් මේක පාවිච්චි කරන්නේ හෝදාගෙන පිරිසිදු වෙන්නයි. ලොකු පූජාසනයකුත් එතන තියෙනවා. මැරුණ සතුන්ව යෙහෝවාට ඔප්පු කරන්නේ එතනයි. ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරේ හරි මැදයි මේ කූඩාරම තිබුණේ. ඉතින් ඒක වටේ තමයි ඒගොල්ලන් ජීවත් වෙන්නේ.