Skip to content

පටුනට යන්න

කතන්දර 39

ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි

ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි

බලන්න මේ සැරයටියේ, නැත්නම් පොල්ලේ මල් හා ඉදුණු රට කොට්ටම් ඇවිල්ලා තියෙන හැටි. මේ ආරොන්ගේ සැරයටියයි. ආරොන්ගේ සැරයටියේ මේ මල් හා ගෙඩි වැවුණේ එක දවසින්! එහෙම වුණේ ඇයි කියලා බලමුද?

තාමත් ඉශ්‍රායෙල්වරු පාළුකරයේ තැනින් තැනට ගමන් කරමිනුයි ඉන්නේ. මෝසෙස් නායකයා වුණ එක ගැනත් ආරොන් උත්තම පූජකයා වුණ එක ගැනත් සමහර අය කැමති නැහැ. කෝරාත් මෙහෙම හිතන කෙනෙක්. ඒ වගේම දාතාන් හා අබීරාම් කියන අයත් මිනිස්සුන්ගේ නායකයන් තව දෙසිය පනස්දෙනෙකුත් හිතන්නේ මෙහෙමයි. ඒ හැමෝම මෝසෙස් ළඟට ඇවිත් අහනවා ‘මොකද මේ ඔයා අපිට වඩා ඔයාවම උසස් කරගන්නේ?’ කියලා.

මෝසෙස් කෝරාටයි එයාගේ අනුගාමිකයන්ටයි මෙහෙම කියනවා: ‘හෙට උදේට සුවඳ දුම් භාජන පුරවලා ඒවා යෙහෝවාගේ මණ්ඩපයට ගේන්න. එතකොට යෙහෝවා තෝරාගන්නේ කාවද කියලා අපිට බලාගන්න පුළුවන්.’

ඉතින් ඊළඟ දවසේ කෝරායි එයාගේ ගෝලයන් දෙසිය පනස්දෙනායි මණ්ඩපයට එනවා. මේගොල්ලන්ගේ පැත්ත ගන්න තවත් හුඟදෙනෙක් එනවා. යෙහෝවාට මේ ගැන හරිම තරහයි. ‘මේ නරක මිනිස්සුන්ගේ කූඩාරම්වලින් ඈත් වෙන්න. ඒගොල්ලන්ට අයිති මුකුත් අල්ලන්න එපා’ කියලා මෝසෙස් කියනවා. මිනිස්සු ඇහුම්කම් දීලා, කෝරා, දාතාන් හා අබීරාම්ගේ කූඩාරම්වලින් ඈත් වෙනවා.

එතකොට මෝසෙස් මෙහෙම කියනවා: ‘යෙහෝවා කරන්න යන දෙයින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි ඔහු තෝරාගෙන තියෙන්නේ කාවද කියලා. පොළොව ඇරිලා මේ නරක මිනිස්සුන්ව ගිලගන්න යනවා.’

මෝසෙස් කතා කරන එක නැවැත්තුව හැටියෙම පොළොව දෙබෑ වෙනවා. කෝරාගේ කූඩාරමත් එයාගේ බඩු බාහිරාදියත්, දාතාන් හා අබීරාම් හා ඒගොල්ලන්ගේ පැත්තේ හිටිය හැමදෙනාවමත් ඇතුලට වැටෙනවා. ඒගොල්ලන්ව පොළොව ගිලගන්නවා. ඇතුලට වැටෙන අයගේ ශබ්දය ඇහිලා මිනිස්සුත් කෑගහලා කියනවා: ‘දුවන්න! දුවන්න! නැත්නම් පොළොව අපිවත් ගිලගනියි!’

කෝරායි එයාගේ ගෝලයන් දෙසිය පනස්දෙනායි තාමත් ඉන්නේ මණ්ඩපය ළඟ. යෙහෝවා ගින්දර එවලා ඒ හැමදෙනාවම මරනවා. ඊට පස්සේ යෙහෝවා ආරොන්ගේ පුතා එලෙයාසර්ට කියනවා මැරුණ අයගේ දුම් භාජන අරගෙන ඒවාවලින් පූජාසනය වහන්න තහඩුවක් හදන්න කියලා. ආරොන් හා එයාගේ පුතුන් හැර වෙන කාටවත් පූජකයන් හැටියට යෙහෝවාට සේවය කරන්න බැහැයි කියලා අනතුරු අඟවන්නයි මේ තහඩුව තිබුණේ.

යෙහෝවා තෝරගෙන තියෙන්නේ ආරොන්වයි එයාගේ පුත්තුන්වයි විතරයි කියලා මිනිස්සුන්ට හොඳින් පැහැදිලි කරන්න ඕන වුණා. ඉතින් යෙහෝවා මෝසෙස්ට කියනවා: ‘හැම ඉශ්‍රායෙල් ගෝත්‍රයකම නායකයන්ට කියන්න සැරයටියක් ගේන්න කියලා. ලෙවී ගෝත්‍රයේ නායකයා හැටියට ආරොන්ට කියන්න එයාගේ සැරයටියත් ගේන්න කියලා. ඊට පස්සේ මේ සැරයටි ඔක්කොම මණ්ඩපයේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහින් තියන්න. පූජකයා හැටියට මම තෝරාගත්ත මිනිසාගේ සැරයටියේ මල් පිපෙන්න යනවා.’

ඊළඟ දවසේ උදේ මෝසෙස් එනකොට, මෙන්න බලන්න, ආරොන්ගේ සැරයටියේ මල් හා ඉදුණ රට කොට්ටම් ඇවිල්ලා! ඉතින් ඔයාට දැන් තේරෙනවාද යෙහෝවා ආරොන්ගේ සැරයටියේ මල් පිපෙන්න සැලැස්සුවේ ඇයි කියලා?