Skip to content

පටුනට යන්න

කතන්දර 46

යෙරිකෝ නගරයේ තාප්ප

යෙරිකෝ නගරයේ තාප්ප

මේ යෙරිකෝ නගරයේ තාප්ප වැටෙන්නේ ඇයි? ලොකු බෝම්බයක් පිපිරිලා වගෙයි නේද පේන්නේ? ඒ වුණාට ඒ කාලයේ බෝම්බ තිබුණේ නැහැ; තුවක්කු තිබුණෙත් නැහැ. මේක යෙහෝවා කෙරුව තවත් පුදුමයක්! මේක වුණේ කොහොමද කියලා අපි බලමු.

යෙහෝවා යෝෂුවාට කියන මේ දේ අහගන්න: ‘ඔයාත් ඔයාගේ යුද්ධ භටයනුත් නගරය වටේ ඇවිදගෙන යන්න. දවසකට එක වරක් ගානේ දවස් හයක්ම නගරය වටේ ඇවිදින්න. ඕගොල්ලන් යද්දි ගිවිසුම් පෙට්ටිය අරගෙන යන්න. ඒකට ඉස්සරහෙන් හොරණෑ පිඹින පූජකයින් හත්දෙනෙකුත් යන්න ඕනේ.

‘හත්වෙනි දවසේදී ඕගොල්ලන් නගරය වටේ හත් වරක් ඇවිදගෙන යන්න ඕනේ. ඊට පස්සේ එක දිගටම හොරණෑ පිඹලා හැමදෙනාටම කියන්න ලොකු යුද්ධ ඝෝෂාවක් ඇති කරන්න කියලා. එතකොට තාප්ප කඩාගෙන වැටෙයි!’

යෙහෝවා කිව්ව දේ යෝෂුවාත් මිනිස්සුත් කරනවා. ඒගොල්ලන් ගමන් කරනකොට හැමදෙනාම නිශ්ශබ්දයි. කවුරුත්ම වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඇහෙන්නේ හොරණෑවල ශබ්දය හා අඩි ශබ්දය විතරයි. යෙරිකෝවේ ජීවත් වෙන, දෙවිගේ සෙනඟගේ සතුරො ගොඩක් භය වෙන්න ඇති නේද? අර ජනේලයකින් රතු ලණුවක් එල්ලෙනවා පේනවාද? ඒ කාගේ ජනේලයද? ඔව්, ඔත්තුකාරයෝ දෙන්නා රාහාබ්ට කරන්න කියලා කිව්ව දේ ඇය කරලා. ඇයයි ඇගේ පවුලේ අයයි ගේ ඇතුලේ ඉඳගෙන මොනවාද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා.

අන්තිමේදී, හත්වෙනි දවසේ, නගරය වටේ හත් වරක් ගමන් කෙරුවාට පස්සේ, හොරණෑ ශබ්දයක් ඇහෙනවා, යුද්ධ භටයන් ඝෝෂා කරනවා, තාප්ප කඩාගෙන වැටෙනවා. එතකොට යෝෂුවා මෙහෙම කියනවා: ‘නගරයේ ඉන්න හැමදෙනාවම මරලා නගරය පුච්චලා දාන්න. හැම දෙයක්ම පුච්චලා දාන්න. රිදී, රත්තරන්, පිත්තල, යකඩ බඩු විතරක් බේරලා, ඒවා යෙහෝවාගේ කූඩාරමේ ගබඩාවට ගේන්න.’

ඔත්තුකාරයන් දෙන්නාට යෝෂුවා කියනවා: ‘රාහාබ්ගේ ගෙදරට ගිහිල්ලා ඇයවත් ඇගේ පවුලේ හැමදෙනාවත් එළියට ගේන්න’ කියලා. ඔත්තුකාරයෝ රාහාබ්ට පොරොන්දු වුණ විදිහටම ඇය හා ඇගේ පවුල බේරෙනවා.