Skip to content

පටුනට යන්න

කතන්දර 50

නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්

නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්

ඉශ්‍රායෙල්වරු කරදරවලට වැටෙද්දී, ඒගොල්ලන් යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා. ඉතින් යෙහෝවා ඒගොල්ලන්ට උදව් කරන්න නිර්භීත නායකයන් දෙනවා. බයිබලයේ මේ නායකයන්ට කියන්නේ විනිශ්චයකරුවන් කියලයි. යෝෂුවා තමයි පළවෙනි විනිශ්චයකරුවා. එයාට පස්සේ හිටිය විනිශ්චයකරුවන්ගෙන් සමහරදෙනෙක් තමයි ඔත්නියෙල්, ඒහුද් හා ෂම්ගර්. හැබැයි දෙබොරා හා යායෙල් කියන ස්ත්‍රීන් දෙන්නෙකුත් ඉශ්‍රායෙල්වරුන්ට උදව් කළා.

දෙබොරා අනාගතවක්තෘවරියක්. ඒ කියන්නේ යෙහෝවා ඈට අනාගතය ගැන තොරතුරු දුන්නාම ඈ මිනිස්සුන්ට ඒ ගැන කියනවා. දෙබොරා විනිශ්චයකාරියක් හැටියටත් සේවය කළා. ඇය කඳු ප්‍රදේශයේ එක ඉඳි ගහක් යට වාඩි වෙලයි හිටියේ. මිනිස්සු ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳාගන්න ඇය ළඟට ආවා.

මේ කාලයේදී කානාන් දේශය ආණ්ඩු කළේ යාබින් කියන රජයි. එයාට යුද්ධ කරත්ත නවසියයක් තිබුණා. එයාගේ හමුදාව කොයිතරම් ශක්තිමත්ද කිව්වොත් ඉශ්‍රායෙල්වරුන්ගෙන් හුඟදෙනෙක්ට එයාගේ සේවකයන් හැටියට වැඩ කරන්න වුණා. යාබින් රජගේ හමුදාවේ නායකයා සිසෙරා.

දවසක් දෙබොරා තව විනිශ්චයකාරයෙක් වන බාරාක්ට අඬගහලා කියනවා: ‘යෙහෝවා කියනවා “මිනිස්සු දහදහස්දෙනෙක් අරගෙන තාබෝර් කන්දට යන්න. එතනදී මම ඔයා ළඟටම සිසෙරාව ගේනවා. එතකොට මම ඔයා ලවා එයාවත් එයාගේ හමුදාවත් පරාජය කරන්න සලස්වනවා” කියලා.’

බාරාක් දෙබොරාට කියනවා ‘මම යන්නේ ඔයා මාත් එක්ක එනවනං විතරයි’ කියලා. දෙබොරා එයාත් එක්ක ගියත් ඇය මෙහෙම කියනවා, ‘ඔයා දිනුවයි කියලා ඔයාට කිසි ගෞරවයක් ලැබෙන්නේ නැහැ. මොකද සිසෙරාව පරාජය කරන්න යෙහෝවා යොදාගන්නේ ස්ත්‍රියක්වයි.’ කිව්ව දේ සිද්ධ වුණේ මෙහෙමයි.

බාරාක් සිසෙරාගේ භටයින්ව හමු වෙන්න තාබෝර් කන්දෙන් බැහැලා එනවා. එකපාරටම යෙහෝවා ජලගැල්මක් ඇති වෙන්න සලස්වනවා. හතුරු භටයින්ගෙන් ගොඩක්දෙනෙක් වතුරට යට වෙලා මැරෙනවා. හැබැයි සිසෙරා එයාගේ කරත්තයෙන් බැහැලා පැනලා යනවා.

ටික වේලාවකට පස්සේ සිසෙරා එනවා යායෙල්ගේ කූඩාරමට. ඇය එයාට ඇතුලට එන්න කියලා බොන්න කිරි ටිකක් දෙනවා. මේකෙන් එයාට නිදිමත ගතියක් දැනිලා එයා බර නින්දකට වැටෙනවා. එතකොට යායෙල් කූඩාරම සවි කරන්න තිබුණ ඇණයක් අරගෙන, ඒක මේ නරක මිනිසාගේ ඔළුවට තියලා ගහනවා. ඊට පස්සේ බාරාක් ආවාම, එයාට මේ මැරිලා ඉන්න සිසෙරාව පෙන්නනවා! දෙබොරා කිව්ව දේ ඒ විදියටම වුණා නේද?

අන්තිමේදී යාබින් රජවත් මරලා දානවා. දැන් ආයෙත් ටික කාලෙකට ඉශ්‍රායෙල්වරුන් සාමයෙන් ඉන්නවා.