Skip to content

පටුනට යන්න

කතන්දර 52

ගිඩියොන් හා මිනිස්සු තුන්සියදෙනා

ගිඩියොන් හා මිනිස්සු තුන්සියදෙනා

මෙතන වෙන්නේ මොනවාද කියලා ඔයාට පේනවාද? මේ හැමෝම ඉශ්‍රායෙල් ජාතියට අයිති යුද්ධ භටයන්. සමහර අය නැමිලා වතුර බොනවා. ඒගොල්ලන් ළඟ හිටගෙන ඉන්න මිනිසාගේ නම ගිඩියොන්. එයා විනිශ්චයකරුවෙක්. ඒගොල්ලන් වතුර බොන හැටි දිහා එයා බලාගෙන ඉන්නවා.

මිනිස්සු වතුර බොන දිහා හොඳට බලන්න. සමහරදෙනෙක් දිව ගාලා වතුර බොනවා. ඒ වුණාට එක්කෙනෙක් බොන්නේ වතුර අතට අරගෙනයි. එයා එහෙම කරන්නේ වටපිට වෙන දේවල් බලාගන්න පුළුවන් වෙන්නයි. වතුර බොන කොට වටපිට බලන අයව විතරක් තෝරාගන්න කියලා යෙහෝවා ගිඩියොන්ට කිව්ව නිසා මේක කරන එක වැදගත් වුණා. අනික් අයව ගෙදර යවන්න කියලයි දෙවි කිව්වේ. ඒ ඇයි කියලා බලමුද?

ඉශ්‍රායෙල්වරු ආයෙත් කරදර ගොඩකට වැටිලයි ඉන්නේ. මොකද ඒගොල්ලන් යෙහෝවාට කීකරු වෙලා නැහැ. මිදියන්වරු ඒගොල්ලන්ව යටත් කරගෙන ඒගොල්ලන්ට කරදර කරනවා. ඉතින් ඉශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා. යෙහෝවා ඒගොල්ලන්ගේ මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා.

යෙහෝවා ගිඩියොන්ට කියනවා හමුදාවක් එකතු කරගන්න කියලා. ඉතින් ගිඩියොන් භටයන් තිස්දෙදහස්දෙනෙක්ව එකතු කරගන්නවා. ඒ වුණාට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන හමුදාවේ මිනිස්සුන් එක්ලක්ෂ තිස්පන්දහස්දෙනෙක් ඉන්නවා. ඒත් යෙහෝවා ගිඩියොන්ට කියනවා: ‘ඔයාට මිනිස්සු ඉන්නවා වැඩියි’ කියලා. යෙහෝවා මේ වගේ දෙයක් කියන්නේ ඇයි?

ඒකට හේතුව, ඉශ්‍රායෙල්වරුන් යුද්ධයෙන් ජය ලැබුවොත් ඒගොල්ලන් ජය ලබන්නේ ඒගොල්ලන්ගේම බලයෙන් කියලා හිතන්න යන නිසයි. ඒගොල්ලන්ට ජයගන්න යෙහෝවාගේ උදව් ඕන වුණේ නැහැයි කියලා හිතන්න පුළුවන්. ඉතින් යෙහෝවා ගිඩියොන්ට කියනවා: ‘හිතේ භයක් තියෙන හැම මිනිහෙක්ටම කියන්න හැරිලා ගෙදර යන්න කියලා.’ ගිඩියොන් එහෙම කියද්දී, එයාගේ භටයන්ගෙන් විසිදෙදහස්දෙනෙක් හැරිලා යනවා. ඒ කියන්නේ භටයින් එක්ලක්ෂ තිස්පන්දහස්දෙනෙක් ඉන්න හමුදාවත් එක්ක යුද්ධ කරන්න එයාට දැන් ඉතුරු වෙලා ඉන්නේ මිනිස්සු දහදහස්දෙනෙක් විතරයි.

ඒත් මේක අහන්නකෝ! යෙහෝවා කියනවා ‘ඔයාට තවමත් මිනිස්සු වැඩියි’ කියලා. ඉතින් ඔහු ගිඩියොන්ට කියනවා ඒ මිනිස්සුන්ට මේ ඇළෙන් වතුර බොන්න කියන්න කියලා. දිව ගාලා වතුර බොන හැමදෙනාවම ගෙදර යවන්න කියලාත් කියනවා. ‘වටපිට බල බල වතුර බිව්ව මිනිස්සු තුන්සියදෙනාගෙන් තමයි මම ඕගොල්ලන්ට ජයග්‍රහණය ලබා දෙන්නේ’ කියලා යෙහෝවා පොරොන්දු වෙනවා.

දැන් යුද්ධ කරන වේලාව ඇවිත්. ගිඩියොන් එයාගේ මිනිස්සු තුන්සියදෙනාව කාණ්ඩ තුනකට බෙදනවා. හැම මිනිසෙකුටම හොරණෑවක්ද, කළගෙඩියක්ද, ඒක ඇතුලට දාන්න පන්දමක්ද දෙනවා. මහ රෑ වෙනකොට ඒ හැමෝම හතුරු භටයන්ගේ කඳවුර වට කරගන්නවා. එතකොට හැමදෙනාම එකට හොරණෑ පිඹලා කළගෙඩි බිඳලා: ‘යෙහෝවාගෙත් ගිඩියොන්ගෙත් කඩුව’ කියලා කෑගහනවා. කලබල වෙලා නැඟිටින හතුරු භටයින් භය වෙනවා. හැමදෙනාම එතනින් පැනලා දුවනවා. ඉතින් ඒ විදිහට ඉශ්‍රායෙල්වරුන්ට යුද්ධයෙන් ජය ලැබෙනවා.