Skip to content

පටුනට යන්න

කතන්දර 53

යෙප්තාගේ පොරොන්දුව

යෙප්තාගේ පොරොන්දුව

ඔයා පොරොන්දුවක් වෙලා, ඊට පස්සේ ඒක ඉෂ්ට කරන්න අමාරුයි කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවාද? මේ පින්තූරයේ ඉන්න මිනිසාට හිතුණේ එහෙමයි. ඒ නිසයි එයා මෙච්චර දුකෙන් ඉන්නේ. මේ මිනිසාගේ නම යෙප්තා. එයා ඉශ්‍රායෙල්වරුන්ගේ නිර්භීත විනිශ්චයකාරයෙක්.

යෙප්තා ජීවත් වුණේ ඉශ්‍රායෙල්වරු යෙහෝවාට නමස්කාර කරන්නේ නැති කාලයකයි. ඒගොල්ලන් ආයෙත් නරක දේවල් කරන්න පටන් අරගෙන. ඉතින් ඒගොල්ලන්ට කරදර කරන්න අම්මොන් ජාතියේ අයට යෙහෝවා ඉඩහරිනවා. මේ නිසා ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාට අඬලා කියනවා ‘අපි ඔබට විරුද්ධව පව් කෙරුවා. කරුණාකරලා අපිව බේරගන්න!’ කියලා.

තමන් කරලා තියෙන නරක දේවල් ගැන මිනිස්සු කනගාටු වෙනවා. ඒගොල්ලන්ගේ වැරදි හදාගන්න යනවා කියලා පෙන්නන්න ඒගොල්ලන් ආයෙත් යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගන්නවා. මේ නිසා යෙහෝවා ඒගොල්ලන්ට උදව් කරනවා.

නපුරු අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න, මිනිස්සු තෝරගෙන තියෙන්නේ යෙප්තාවයි. යුද්ධයේදී යෙහෝවාගේ උදව් ලබාගන්න යෙප්තාට ඇත්තටම ඕන වෙනවා. ඉතින් එයා යෙහෝවාට මෙහෙම පොරොන්දු වෙනවා: ‘අම්මොන්වරුන්ව පරාජය කරන්න ඔබ මට උදව් දුන්නොතින්, මම ජය ලබලා ගෙදර යනකොට මගේ ගෙදරින් මාව පිළිගන්න එන පළවෙනි තැනැත්තාව මම ඔබට දෙනවා.’

යෙහෝවා යෙප්තාගේ පොරොන්දුව අහලා එයාට උදව් කරනවා ජයග්‍රහණය ලබාගන්න. යෙප්තා ගෙදර යනකොට, එයාව පිළිගන්න මුලින්ම එන්නේ කවුද කියලා ඔයා දන්නවාද? එයාගේ දුව, ඒ කියන්නේ එයාගේ එකම දරුවා. ‘අනේ, මගේ දුවේ’ කියලා යෙප්තා අඬනවා. ‘ඇයි මට මේ වගේ දුකක් දුන්නේ! මම යෙහෝවාට පොරොන්දුවක් වුණා. ඒක වෙනස් කරන්න බැහැ.’

යෙප්තාගේ දුවට එයාගේ තාත්තගේ පොරොන්දුව ගැන අහන්න ලැබුණාම, මුලදී ඇයත් කනගාටු වෙනවා. මොකද, පොරොන්දුව නිසා ඇයට ඇගේ තාත්තාවත් ඇගේ යහළුවන්වත් දාලා යන්න වෙනවා. ඒ වුණාට ඇය යන්නේ ඇගේ මුළු ජීවිත කාලය පුරාම, ෂීලෝවල තියෙන යෙහෝවාගේ මණ්ඩපයේ ඔහුට සේවය කරන්නයි. ඉතින් ඇය ඇගේ තාත්තාට මෙහෙම කියනවා: ‘තාත්තා යෙහෝවාට පොරොන්දු වුණා නම්, ඒක ඉෂ්ට කරන්නම ඕනේ.’

ඉතින් යෙප්තාගේ දුව ෂීලෝවට යනවා. යෙහෝවාගේ මණ්ඩපයේ ඔහුට සේවය කරමින් ඇය ඇගේ මුළු ජීවිතයම එහෙ ගත කරනවා. අවුරුද්දකට දවස් හතරක් ඉශ්‍රායෙල් ජාතික ස්ත්‍රීන් එයාව බලන්න යනවා. එහෙම හමු වුණාම ඒගොල්ලන් සන්තෝෂෙන් කාලෙ ගත කරනවා. යෙප්තාගේ දුව යෙහෝවාගේ හොඳ සේවිකාවක් නිසා මිනිස්සු ඇයට ආදරෙයි.