Skip to content

පටුනට යන්න

කතන්දර 54

ශක්තිමත්ම මිනිසා

ශක්තිමත්ම මිනිසා

මෙතෙක් ජීවත් වුණ ශක්තිමත්ම මිනිසාගේ නම ඔයා දන්නවාද? ඒ සම්සොන්. එයා විනිශ්චයකරුවෙක්. සම්සොන්ට ශක්තිය ලැබෙන්නේ යෙහෝවාගෙන්. සම්සොන් ඉපදෙන්ටත් කලින්, යෙහෝවා එයාගේ අම්මාට කිව්වා ‘ටික කාලෙකින් ඔයාට පුතෙක් ලැබෙයි. එයා තමයි පිලිස්තිවරුන්ගෙන් ඉශ්‍රායෙල්වරුන්ව බේරාගන්න යන්නේ’ කියලා.

පිලිස්තිවරුන් කියන්නේ කානාන් දේශයේ ජීවත් වුණ නරක මිනිස්සු කොටසකටයි. ඒගොල්ලන්ට යුද්ධ භටයන් හුඟදෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉශ්‍රායෙල්වරුන්ට හුඟාක් කරදර කරනවා. දවසක්දා පිලිස්තිවරු ජීවත් වන පළාතට සම්සොන් යද්දී සිංහයෙක් ගොරවගෙන එයා ගාවට එනවා. සම්සොන් එයාගේ අත් දෙකෙන් සිංහයාව මරනවා. එයා නරක පිලිස්තිවරුන් සිය ගණනක්වත් මරනවා.

පස්සේ කාලෙක සම්සොන් දෙලීලා කියන ස්ත්‍රියට ආදරේ කරනවා. සම්සොන්ට මේ තරම් ශක්තියක් ලැබෙන්නේ කොහෙන්ද කියලා දෙලීලා පිලිස්තිවරුන්ගේ නායකයන්ට කිව්වොතින්, ඒගොල්ලන් එක් එක්කෙනා රිදී කෑලි එක්දහස් එකසියය ගානේ ඇයට දෙනවා කියලා පොරොන්දු වෙනවා. දෙලීලාට ඒ සල්ලිවලට ආස හිතෙනවා. ඇය නම් සම්සොන්ගේවත් දෙවිගේ සෙනඟගේවත් සැබෑ යාළුවෙක් නෙවෙයි. ඉතින් මේ තරම් ශක්තියක් සම්සොන්ට ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන තුරුම ඇය එයාට කරදර කරනවා.

අන්තිමට දෙලීලාට පුළුවන් වෙනවා සම්සොන්ගේ ශක්තියේ රහස එයාගෙන්ම දැනගන්න. ‘මගේ කොණ්ඩේ කවදාවත් කපලා නෑ. මං ඉපදුණ දවසේ ඉඳලම දෙවි මාව තෝරාගෙන තියෙනවා ඔහුට නාසරියයෙකු නැත්නම් විශේෂ සේවකයෙකු හැටියට සේවය කරන්න. මගේ කොණ්ඩේ කැපුවොත් මගේ ශක්තිය නැති වෙයි’ කියලා එයා කියනවා.

දෙලීලාට මේක දැනගන්න ලැබුණාම ඇය සම්සොන්ව ඇගේ ඔඩොක්කුවේ නිදි කරවනවා. ඊට පස්සේ ඇය මිනිසෙකුට කියනවා ඇතුලට ඇවිත් එයාගේ කොණ්ඩේ කපන්න කියලා. සම්සොන් නැඟිටිනකොට, එයාගේ ශක්තිය නැති වෙලා. එතකොට පිලිස්තිවරු ඇතුලට ඇවිත් එයාව අල්ලාගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් එයාගේ ඇස් දෙකම උගුල්ලලා, එයාව වහලෙක් කරගන්නවා.

දවසක් පිලිස්තිවරු, දාගොන් කියන ඒ අයගේ දෙවියාට නමස්කාර කරන්න විශාල උත්සවයක් පවත්වනවා. උත්සවයේදී ඒගොල්ලන් සම්සොන්ව හිරෙන් එළියට අරගෙන එයාට විහිළු කරනවා. මේ කාලේ වෙනකොට සම්සොන්ගේ කොණ්ඩේ ආයෙත් වැවිලයි තියෙන්නේ. සම්සොන්ව අතින් අල්ලාගෙන යන පිරිමි ළමයාට එයා කියනවා: ‘මේ ගොඩනැඟිල්ල හයි වෙලා තියෙන කණු මට අල්ලන්න ඉඩ දෙන්න’ කියලා. එතකොට සම්සොන් යෙහෝවාට යාච්ඤා කරලා, ශක්තිය ඉල්ලලා කණු දෙක අල්ලාගන්නවා. ‘පිලිස්තිවරුන් එක්ක මටත් මැරෙන්න දෙන්න’ කියලා එයා කෑගහලා කියනවා. මේ උත්සවයේ පිලිස්තිවරුන් තුන්දහස්දෙනෙක් ඉන්නවා. සම්සොන් මුළු ශක්තිය යොදවලා මේ කණු තල්ලු කරද්දී ඒ ගොඩනැඟිල්ල කඩාගෙන වැටිලා මේ නරක මිනිස්සු හැමෝම මැරෙනවා.