Skip to content

පටුනට යන්න

කතන්දර 56

සාවුල්—ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ

සාවුල්—ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ

සාමුවෙල් අර මිනිසාගේ ඔළුවට තෙල් වත් කරන හැටි බලන්න. ඒ කාලේ කෙනෙක්ව රජ හැටියට තේරුවා කියලා පෙන්වන්න කළේ මේකයි. යෙහෝවා සාමුවෙල්ට කියනවා සාවුල්ගේ ඔළුවට තෙල් වත් කරන්න කියලා. ඒක විශේෂ, සුවඳ තෙලක්.

සාවුල් හිතුවේ නැහැ එයා රජ වෙන්න වටින මිනිසෙක් කියලා. ‘මම අයිති බෙන්යමින් ගෝත්‍රයටයි, ඒ කියන්නේ ඉශ්‍රායෙලයේ පොඩිම ගෝත්‍රයයි’ කියලා එයා සාමුවෙල්ට කියනවා. ‘මම රජ වෙනවා කියලා ඔයා කියන්නේ ඇයි?’ තමා හරිම උසස් හා වැදගත් කෙනෙක් කියලා එයා හිතන්නේ නැති නිසා යෙහෝවා සාවුල්ට කැමතියි. ඒ නිසයි රජ හැටියට එයාව ඔහු තෝරාගන්නේ.

ඒ වුණාට සාවුල් දුප්පත් කෙනෙක්වත් වැදගත්කමෙන් අඩු කෙනෙක්වත් නෙවෙයි. එයා පොහොසත් පවුලක කෙනෙක්. එයා හොඳ පෙනුමක් ඇති උස මිනිසෙක්. ඉශ්‍රායෙල් ජාතියේ හැම මිනිසෙක්ටම වඩා මෙයා අඩියකින් විතර උසයි! සාවුල්ට හරිම වේගයෙන් දුවන්න පුළුවන් වගේම එයා හරි ශක්තිමත්. රජ වෙන්න යෙහෝවා සාවුල්ව තේරුව එක ගැන මිනිස්සුන්ට සන්තෝෂයි. ඒ හැමදෙනාම: ‘රජ දිගුකල් ජීවත් වේවා!’ කියලා සන්තෝෂයෙන් කෑගහන්න පටන්ගන්නවා.

ඉශ්‍රායෙල්වරුන්ගේ හතුරන් කලින් වගේම තාමත් ශක්තිමත්. ඒගොල්ලන් ඉශ්‍රායෙල්වරුන්ට තාමත් කරදර ගොඩක් ඇති කරනවා. සාවුල් රජ වුණ ගමන්ම ඒගොල්ලන්ට විරුද්ධව යුද්ධ කරන්න අම්මොනිවරු එනවා. ඒ වුණාට සාවුල් ලොකු හමුදාවක් එකතු කරගෙන අම්මොනිවරුන්ව පරාජය කරනවා. මේ නිසා මිනිස්සු ආසයි සාවුල් රජ වෙලා ඉන්න එක ගැන.

කාලය ගත වෙනවත් එක්කම, සාවුල්ගේ නායකත්වය යටතේ ඉශ්‍රයෙල්වරුන් සතුරන්ව පරාජය කරලා හුඟක් යුද්ධවලින් ජය ලබාගන්නවා. සාවුල්ට යොනාතාන් කියන නිර්භීත පුතෙකුත් ඉන්නවා. ඉශ්‍රායෙල්වරුන්ට යුද්ධවලින් ජය ලබාගැනීමට යොනාතානුත් උදව් කරනවා. පිලිස්තිවරුන් තාමත් ඉශ්‍රායෙල්වරුන්ගේ නරකම හතුරා. දවසක්දා පිලිස්තිවරු දසදහස් ගණනක් එනවා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න.

සාමුවෙල් සාවුල්ට කියනවා එයා ඇවිත් යෙහෝවාට පූජාවක්, නැත්නම් තෑග්ගක් ඔප්පු කරනකම් ඉන්න කියලා. ඒ වුණාට සාමුවෙල් එන්න පරක්කු වෙනවා. පිලිස්තිවරුන් යුද්ධෙ පටන්ගනී කියන භයෙන් සාවුල්ම පූජාව ඔප්පු කරන්න පටන්ගන්නවා. අන්තිමට සාමුවෙල් ආවාම, එයා සාවුල්ට කියනවා සාවුල් අකීකරු වුණායි කියලා. ‘ඉශ්‍රායෙල්වරුන්ගේ රජ වෙන්න යෙහෝවා වෙන කෙනෙක්ව තෝරාගනී’ කියලා සාමුවෙල් කියනවා.

පස්සේ කාලෙක සාවුල් ආයෙත් අකීකරු වෙනවා. ඉතින් සාමුවෙල් එයාට මෙහෙම කියනවා: ‘හොඳම බැටළුවා අරගෙන යෙහෝවාට තෑගි කරනවාට වඩා හොඳයි ඔහුට කීකරු වෙන එක. ඔයා යෙහෝවාට අකීකරු වුණ නිසා, මින් පස්සෙ යෙහෝවා ඔයාව ඉශ්‍රායෙල්වරුන්ගේ රජ හැටියට තියාගන්නේ නැහැ.’

මේකෙන් අපිට හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්. හැම වෙලාවෙම යෙහෝවාට කීකරු වෙන එක කොයිතරම් වැදගත්ද! සාවුල් වගේ හොඳ කෙනෙක් වුණත් වෙනස් වෙලා නරක අතට හැරෙන්න පුළුවන් කියලාත් මේකෙන් අපිට පේනවා. නරක අතට හැරෙන්න අපිට කවදාවත් ඕන නැහැ, නේද?