Skip to content

පටුනට යන්න

කතන්දර 58

දාවිත් සහ ගොලියත්

දාවිත් සහ ගොලියත්

පිලිස්තිවරු ආයෙත් එනවා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න. දාවිත්ගේ ලොකුම අයියලා තුන්දෙනා දැන් සාවුල්ගේ හමුදාවට බැඳිලා. ඉතින් එක දවසක් යෙස්සේ දාවිත්ට මෙහෙම කියනවා: ‘ඔයාගේ අයියලාට කන්න ධාන්‍ය ටිකකුයි පාන් ටිකකුයි අරං යන්න. ගිහින් ඒගොල්ලන් සනීපෙන් ඉන්නවාද කියලා බලලා එන්න පුතේ.’

දාවිත් යුධ කඳවුරට ආවාම එයාගේ සහෝදරයන්ව සොයන්න එයා යුධ බිමට දුවලා යනවා. මේ වෙලාවේ ගොලියත් කියන පිලිස්තීය යෝධයා ඉශ්‍රායෙල්වරුන්ට ඔච්චම් කරන්න එළියට එනවා. දැන් දවස් 40ක් තිස්සේ එයා හැමදාම උදේටයි සවසටයි මෙහෙම කරලා තියෙනවා. එයා කෑගහලා කියනවා, ‘ඕගොල්ලන්ගෙන් කාවහරි තෝරාගන්න මා එක්ක සටන් කරන්න. එයා දිනලා මාව මැරුවොත්, අපි ඕගොල්ලන්ගේ සේවකයන් වෙනවා. නැත්නම් මම දිනලා මම එයාව මැරුවොත් ඕගොල්ලන් අපේ සේවකයෝ වෙන්න යනවා. හහ්! ඕගොල්ලන් භය නැතුව මා එක්ක සටන් කරන්න කාවහරි තෝරාගනීද කියලා බලමුකෝ.’

දාවිත් භටයන් සමහරදෙනෙක්ගෙන් අහනවා ‘මේ පිලිස්තිවරයාව මරලා මේ ලැජ්ජාවෙන් ඉශ්‍රායෙල්වරුන්ව බේරන කෙනාට මොනවාද ලැබෙන්නේ’ කියලා.

‘සාවුල් ඒ මිනිසාට වස්තුව හුඟාක් දෙයි’ කියලා භටයෙක් කියනවා. ‘එයා එයාගේම දූ කුමාරියවත් ඒ මිනිසාගේ භාර්යාව හැටියට දෙයි.’

ඒ වුණාට ගොලියත් හුඟක් උස මහත නිසා ඉශ්‍රායෙල්වරු හැමදෙනාම එයාට භයයි. එයා අඩි 9කට වඩා (ඒ කියන්නේ මීටර 3ක් විතර) උසයි. එයා වෙනුවෙන් එයාගේ පලිහ උස්සන්නත් තවත් භටයෙක් ඉන්නවා.

භටයන්ගෙන් කිහිපදෙනෙක් ගිහින් සාවුල්ට කියනවා දාවිත් කැමතියි කියලා ගොලියත් එක්ක සටන් කරන්න. ඒ වුණාට සාවුල් දාවිත්ට කියනවා: ‘මේ පිලිස්තියාත් එක්ක ඔයාට සටන් කරන්න බැහැ. ඔයා තාම දරුවෙක්නේ. එයා එයාගේ මුළු ජීවිත කාලය පුරාම භටයෙක් හැටියට සටන් කරපු කෙනෙක්.’ දාවිත් උත්තර දීලා කියනවා: ‘මම මගේ තාත්තාගේ බැටළුවන්ව අරං ගිය වලහෙක්වයි සිංහයෙක්වයි මරලා දැම්මා. මේ පිලිස්තියාත් උන්ගෙන් එකෙක් වගේ තමයි වෙන්න යන්නේ. යෙහෝවා මට උදව් කරයි.’ ඉතින් සාවුල් කියනවා ‘හරි, යන්න, යෙහෝවා ඔයාත් එක්ක ඉඳීවි’ කියලා.

දාවිත් ඇළක් ළඟට ගිහින් සිනිඳු ගල් පහක් අරන් ඒවා එයාගේ මල්ලේ දාගන්නවා. ඊට පස්සේ එයා එයාගේ ගල් පටිය අරගෙන යෝධයාව හමු වෙන්න යනවා. ගොලියත්ට මේක විශ්වාස කරන්නවත් බැහැ. එයා හිතන්නේ දාවිත්ව මරන එක හරිම ලේසි වෙයි කියලයි.

‘එනවා මං ළඟට, මම ඔයාව මරලා කුරුල්ලන්ටයි සතුන්ටයි කන්න දෙනවා’ කියලා ගොලියත් කියනවා. ඒ වුණාට දාවිත් කියන්නේ මෙහෙමයි: ‘ඔයා කඩුවයි, හෙල්ලයයි, කුඩා හෙල්ලයයි අරං මාත් එක්ක සටනට එනවා. නමුත් මම ඔයා එක්ක සටනට එන්නේ යෙහෝවාගේ නාමෙන්. අද යෙහෝවා මට ජය ලබා දෙන හින්දා මම ඔයාව මරලා දානවා.’

මෙහෙම කියලා දාවිත් ගොලියත් ඉන්න දිහාවට දුවනවා. එයාගේ මල්ලෙන් ගලක් අරන්, ඒක එයාගේ ගල් පටියට තියලා එයාගේ මුළු ශක්තියෙන්ම ඒක විදිනවා. ගල කෙළින්ම ගිහින් වදින්නේ ගොලියත්ගේ ඔළුවට නිසා, එයා එතනම මැරිලා වැටෙනවා! ඒගොල්ලන්ගේ වීරයා මැරිලයි කියලා පිලිස්තිවරුන් දැක්කාම ඒ හැමදෙනාම හැරිලා දුවන්න පටන්ගන්නවා. ඉශ්‍රායෙල්වරු ඒගොල්ලන්ගේ පස්සෙන් එළවගෙන ගිහින් යුද්ධයෙන් ජය ලබාගන්නවා.