Skip to content

පටුනට යන්න

කතන්දර 59

දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව

දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව

දාවිත් ගොලියත්ව මැරුවාට පස්සේ, අබ්නේර් කියන ඉශ්‍රායෙල්වරුන්ගේ හමුදාවේ නායකයා එයාව සාවුල් ළඟට ගේනවා. සාවුල් දාවිත් ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. එයාගේ හමුදාවේ නායකයා හැටියට දාවිත්ව පත් කරලා රජ නිවසේ ජීවත් වෙන්න එයාව ගෙනියනවා.

පස්සේ දවසක, පිලිස්තිවරුන් එක්ක යුද්ධ කරලා හමුදාව ආයෙත් එද්දී ස්ත්‍රීන් මෙහෙම ගායනා කරනවා: ‘සාවුල් දහස් ගණනින් මැරුවා, නමුත් දාවිත් දසදහසක් මැරුවා.’ තමාට වඩා දාවිත්ට ගෞරවයක් ලැබෙන නිසා, සාවුල්ට ඊර්ෂ්‍යා හිතෙනවා. ඒ වුණාට සාවුල්ගේ පුතා යොනාතාන් ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. එයා දාවිත්ට ගොඩක් ආදරෙයි. දාවිතුත්ද යොනාතාන්ට ආදරෙයි. ඉතින් ඒගොල්ලන් හැමදාම යාළුවො වගේ ඉන්නවා කියලා දෙන්නාට දෙන්නා පොරොන්දු වෙනවා.

දාවිත්ට හරිම ලස්සනට වීණාව වාදනය කරන්න පුළුවන්. එයා වාදනය කරන සංගීතයට සාවුල් කැමතියි. ඒ වුණාට, සාවුල්ගේ ඊර්ෂ්‍යාව නිසා එයා දවසක් හරිම නරක දෙයක් කරනවා. දාවිත් වීණාව වාදනය කරමින් ඉන්නකොට, ‘මම බිත්තියටම වදින්න දාවිත්ට අනිනවා’ කියලා කියාගෙනම සාවුල් එයාගේ හෙල්ලෙ වීසි කරනවා. ඒ වුණාට දාවිත් අහකට පනින නිසා, හෙල්ලෙ වදින්නේ නැහැ. ඊට පස්සෙත් සාවුල් වීසි කරන හෙල්ලෙන් දාවිත්ව බේරෙනවා. දැන් ඉතින් දාවිත් දන්නවා එයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා.

සාවුල් දුන්න පොරොන්දුව ඔයාට මතකද? එයාගේ දුවව ගොලියත්ව මැරුව මිනිසාට ඔහුගේ භාර්යාව හැටියට දෙනවා කියලයි එයා කිව්වේ. අන්තිමේදී සාවුල් දාවිත්ට කියනවා දාවිත්ට එයාගේ දුව මීඛල්ව විවාහ කරගන්න පුළුවන්, හැබැයි මෙහෙම කරන්න කලින් එයා සතුරු පිලිස්තිවරු 100දෙනෙක්ව මරන්න ඕනේ කියලා. අනේ අනේ! සාවුල් ඇත්තටම හිතාගෙන ඉන්නේ පිලිස්තිවරු දාවිත්ව මරයි කියලයි. ඒ වුණාට ඒගොල්ලන්ට එහෙම කරන්න බැරි වෙනවා. ඉතින් සාවුල් එයාගේ දුවව දාවිත්ගේ භාර්යාව හැටියට දෙනවා.

දවසක් සාවුල් යොනාතාන්ටයි එයාගේ සේවකයන් හැමදෙනාටමයි කියනවා එයාට දාවිත්ව මරන්න ඕනේ කියලා. ඒ වුණාට යොනාතාන් එයාගේ තාත්තාට මෙහෙම කියනවා: ‘අනේ දාවිත්ට කරදර කරන්න එපා. එයා තාත්තාට කිසිම වරදක් කරලා නැහැනේ. එයා කරලා තියෙන හැම දෙයක්ම තාත්තාට ලොකු උදව්වක් වෙලා තියෙනවා. එයා ගොලියත්ව මරන්න ගිහින් තව පොඩ්ඩෙන් එයාගේ ජීවිතෙත් නැති වෙනවා. හැබැයි ගොලියත් මැරෙනවා දැකලා තාත්තා සන්තෝෂ වුණානේ.’

සාවුල් එයාගේ පුතා කිව්ව දේට ඇහුම්කම් දීලා දාවිත්ට කරදර කරන්නේ නැහැයි කියලා පොරොන්දු වෙනවා. දාවිත්ව ආයෙත් ගෙනාවාට පස්සේ, එයා මීට කලින් වගේම සාවුල්ගේ ගෙදර සේවය කරනවා. කොහොම වුණත් දවසක්දා, දාවිත් වීණාව වාදනය කර කර ඉන්නකොට, සාවුල් ආයෙත් එයාගේ හෙල්ල දාවිත්ගේ දිහාවට වීසි කරනවා. දාවිත් අහකට පනින නිසා, හෙල්ලය බිත්තියේ වැදෙනවා. දැන් මේ තුන්වන වාරයයි! දැන් දාවිත් දන්නවා එයා පලා යන්නම ඕනේ කියලා!

එදා රෑ, දාවිත් එයාගේ ගෙදරට යනවා. ඒ වුණාට එයාව මරලා දාන්න කියලා සාවුල් මිනිස්සු කණ්ඩායමක් එවනවා. මීඛල් දන්නවා එයාගේ තාත්තා කරන්න අදහස් කරන්නේ මොකක්ද කියලා. ඉතින් ඇය ඇගේ පුරුෂයාට මෙහෙම කියනවා: ‘ඔයා අද රෑම පලා ගියේ නැත්නම්, හෙට ඔයාව මරයි.’ එදා රෑ දාවිත්ට ජනේලයකින් එළියට පැනලා බේරිලා යන්න මීඛල් උදව් කරනවා. සාවුල්ට එයාව හොයාගන්න බැරි වෙන්න දාවිත්ට අවුරුදු හතකට විතර තැනින් තැන හැංගෙන්න සිද්ධ වෙනවා.