Skip to content

පටුනට යන්න

කතන්දර 60

අබීගායිල් හා දාවිත්

අබීගායිල් හා දාවිත්

දාවිත්ව හමු වෙන්න එන මේ ලස්සන ස්ත්‍රිය කවුද කියලා ඔයා දන්නවාද? ඇගේ නම අබීගායිල්. ඈ හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. දාවිත් නරක දෙයක් කරන්න කලින් ඇය එයාව නවත්තනවා. ඒ වුණාට, ඒක ගැන ඉගෙනගන්න කලින් අපි බලමු දාවිත්ට වෙලා තියෙන දේ ගැන.

දාවිත් සාවුල්ගෙන් බේරිලා පලා ගිහින් ගල් ගුහාවක හැංගෙනවා. එයාගේ සහෝදරයන් වගේම පවුලේ අනික් අයත් එයාට එකතු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු හාරසියයක් විතර. දාවිත් ඒගොල්ලන්ගේ නායකයා වෙනවා. දාවිත් මෝවබ් දේශයේ රජව හමු වෙලා මෙහෙම කියනවා: ‘මට වෙන්න යන්නේ මොකක්ද කියලා මම දැනගන්නකම් කරුණාකරලා මගේ අම්මාටයි තාත්තාටයි ඔයාත් එක්ක ඉන්න දෙන්න.’ ඊට පස්සේ දාවිත් හා එයාගේ මිනිස්සු කඳුවල හැංගෙන්න පටන්ගන්නවා.

දාවිත්ට අබීගායිල්ව හමු වෙන්නේ මේ සිද්ධියෙන් පස්සෙයි. ඇගේ පුරුෂයා නාබල් පොහොසත් ඉඩම් අයිතිකාරයෙක්. එයාට බැටළුවන් තුන්දහසකුත් එළුවන් දහසකුත් ඉන්නවා. ඒ වුණාට නාබල් නපුරු මිනිසෙක්. නමුත් එයාගේ භාර්යාව අබීගායිල් හරිම ලස්සනයි. ඇය හරි දේ කරන හැටිත් දන්නවා. එක වතාවකදී ඇය ඇගේ පවුලත් බේරගත්තා. ඒක කළේ කොහොමද කියලා බලමුද?

දාවිත් හා එයාගේ මිනිස්සු නාබල්ට හොඳින් සලකලා තියෙනවා. එයාගේ බැටළුවන්ව ආරක්ෂා කරන්න උදව් වෙලාත් තියෙනවා. ඉතින් එක දවසක් දාවිත් එයාගේ මිනිස්සු කණ්ඩායමක්ව යවනවා නාබල්ගෙන් උදව්වක් ඉල්ලන්න. නාබල් එයාගේ උදව්කාරයන් එක්ක බැටළුවන්ගේ ලොම් කප කපා ඉන්නකොටයි දාවිත්ගේ මිනිස්සු එන්නේ. එදා නාබල්ගේ ගෙදර උත්සවයක් තිබුණ නිසා, එහෙ රස කෑම ගොඩක් තියෙනවා. ඉතින් දාවිත්ගේ මිනිස්සු මෙහෙම කියනවා: ‘අපි ඔයාට හොඳින් සලකලා තියෙනවා. අපි ඔයාගේ එක බැටළුවෙක්වත් හොරකම් කරලා නැහැ. ඒ වෙනුවට උන්ව බලාගන්න උදව් කරලා තියෙනවා. දැන්, අපිට කෑම ටිකක් කරුණාකරලා දෙන්න පුළුවන්ද?’

‘මම මගේ කෑම ඕගොල්ලන් වගේ මිනිස්සුන්ට දෙන්නේ නැහැ’ කියලා නාබල් කියනවා. එයා කතා කරන්නේ හරිම නපුරු විදියටයි. එයා දාවිත් ගැන නරක දේවලුත් කියනවා. මේ මිනිස්සු ආයෙත් දාවිත් ළඟට ගිහිල්ලා එයාට මේ ගැන කිව්වාම දාවිත්ට හොඳටම කේන්ති යනවා. ‘ඕගොල්ලන්ගේ කඩු ගන්න!’ කියලා එයා එයාගේ මිනිසුන්ට කියනවා. ඊට පස්සේ ඒගොල්ලන් යනවා නාබල්වයි එයාගේ මිනිස්සුන්වයි මරලා දාන්න.

නාබල් කිව්ව නපුරු දේවල් නාබල්ගේ මිනිසෙක්ට ඇහෙනවා. එයා අබීගායිල් ළඟට ගිහින් වෙච්ච දේ ගැන කියනවා. එවෙලේම අබීගායිල් කෑම ටිකක් ලෑස්ති කරගෙන ඒවා බූරුවන් පිට පටවාගෙන ඇගේ ගමන පටන්ගන්නවා. ඇයට දාවිත්ව හමු වුණාම, බූරුවාගේ පිටින් බැහැලා නැමී ආචාර කරලා මෙහෙම කියනවා: ‘අනේ ස්වාමිනි, කරුණාකරලා මගේ පුරුෂයා කරපු දේට කලබල වෙන්න එපා. එයා මෝඩයි. එයා කරන්නේ මෝඩ දේවල්. මෙන්න මගෙන් තෑග්ගක්. කරුණාකරලා මේක අරං මේ සිද්ධ වුණ දේට අපිට සමාව දෙන්න.’

‘ඔයා නුවණ ඇති ස්ත්‍රියක්’ කියලා දාවිත් උත්තර දෙනවා. ‘නාබල්ගේ නපුරුකම්වලට මම එයාව මරලා දාන්නයි හිටියේ. ඔයා මාව ඒ දෙයින් වැළැක්වුවා. දැන් ඔයා සාමයෙන් ගෙදර යන්න.’ පස්සේ කාලෙක, නාබල් මැරුණාට පස්සේ, අබීගායිල් දාවිත්ගේ භාර්යාවන්ගෙන් එක්කෙනෙක් වෙනවා.