Skip to content

පටුනට යන්න

කතන්දර 61

දාවිත්ව රජකමට පත් කරයි

දාවිත්ව රජකමට පත් කරයි

සාවුල් ආයෙත් උත්සාහ කරනවා දාවිත්ව අල්ලාගන්න. එයා එයාගේ හොඳම භටයින් තුන්දහස්දෙනෙකුත් එක්ක යනවා දාවිත්ව හොයන්න. දාවිත්ට මේක දැනගන්න ලැබුණාම, සාවුල් එයාගේ මිනිස්සු එක්ක රෑ නැවතිලා ඉන්නේ කොහේද කියලා දැනගන්න එයා ඔත්තුකාරයන්ව යවනවා. ඊට පස්සේ දාවිත් එයාගේ මිනිස්සු දෙන්නෙක්ගෙන් අහනවා: ‘ඔය දෙන්නාගෙන් කව්ද මාත් එක්ක සාවුල්ගේ කඳවුරට යන්න එන්නේ’ කියලා.

‘මං එන්නං’ කියලා අබිෂයි උත්තර දෙනවා. අබිෂයි කියන්නේ දාවිත්ගේ සහෝදරිය වන ශෙරුයාගේ පුතාටයි. සාවුල් හා එයාගේ මිනිස්සු නිදාගෙන ඉන්නකොට, දාවිත් හා අබිෂයි හොර රහසෙ කඳවුරට ඇතුල් වෙනවා. සාවුල්ගේ ඔළුව ගාවම තියෙන එයාගේ හෙල්ලෙයි එයාගේ වතුර භාජනයයි ඒගොල්ලන් අතට ගන්නවා. හැමදෙනාම තද නින්දක වැටිලා ඉන්න නිසා, කවුරුවත්ම මේගොල්ලන්ව දකින්නේවත්, කාටවත් මේ අය එන සද්දේ ඇහෙන්නේවත් නැහැ.

දැන් දාවිත් හා අබිෂයිව ඔයාට පේනවද? ඒගොල්ලන් කරදරයක් නැතුව පැනලා ඇවිත්, කඳු මුදුනෙ හිටගෙන ඉන්නවා. දාවිත් ඉශ්‍රායෙල්වරුන්ගේ හමුදාවේ නායකයාට කෑගහලා කියනවා: ‘අබ්නේර්, ඔයාගේ ස්වාමියා වන රජව ඔයා ආරක්ෂා කරන්නේ නැත්තේ ඇයි? බලන්න! එයාගේ හෙල්ලෙයි වතුර භාජනයයි කෝ?’

සාවුල් නින්දෙන් අවදි වෙනවා. එයා දන්නවා මේ දාවිත්ගේ කටහඬ කියලා. එයා අහනවා: ‘ඔය දාවිත්ද?’ සාවුල් හා අබ්නේර් අර පහත ඉන්නවා ඔයාට පේනවාද?

‘ඔව්, මාගේ ස්වාමීනි’ කියලා දාවිත් සාවුල්ට උත්තර දෙනවා. එහෙම කියලා දාවිත් අහනවා: ‘ඇයි ඔයා මාව අල්ලන්න උත්සාහ කරන්නේ? මං කරපු වරද මොකක්ද? රජතුමෙනි, මෙන්න ඔයාගේ හෙල්ලය. කියන්න ඔයාගේ මිනිසෙකුට ඇවිත් ඒක ගන්න කියලා.’

‘මං අතින් වරදක් වෙලා තියෙනවා’ කියලා සාවුල් පිළිගන්නවා. ‘මම හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් විදිහට.’ මෙහෙම කිව්වාට පස්සේ දාවිත් යන්න ගියා. සාවුලුත් යන්න ගියා. ඒ වුණාට දාවිත් මෙහෙම හිතාගන්නවා: ‘ළඟඳිම සාවුල් මාව මරයි. ඉතින් මම පිලිස්තිවරුන්ගේ දේශයට පැනලා යන්න ඕනේ.’ ඉතින් එයා එහෙම කරනවා. දාවිත් පිලිස්තිවරුන්ගේ පැත්ත අරන් කියලා හිතන විදිහට පිලිස්තිවරුන්ව රවට්ටන්න දාවිත්ට පුළුවන් වෙනවා.

ටික කාලෙකට පස්සේ පිලිස්තිවරු ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න යනවා. මේ සටනේදී සාවුල් හා යොනාතාන් යන දෙන්නාම මැරෙනවා. මේ නිසා දාවිත් හුඟාක් දුක් වෙනවා. ඉතින් එයා ලස්සන ගීතිකාවක් ලියනවා. ඒක එයා ගායනා කරන්නේ මෙහෙම කියලයි: ‘මගේ සහෝදර යොනාතාන්, ඔයා ගැන මම දුක් වෙනවා. ඔයා මට කොච්චර ප්‍රිය වුණාද!’

මේ සිද්ධියෙන් පස්සේ දාවිත් ඉශ්‍රායෙල් දේශයේ තියෙන හෙබ්‍රොන් නගරයට එනවා. එහෙදී සාවුල්ගේ පුතා ඊෂ්-බොෂෙත් රජ වෙනවාට කැමති මිනිසුන් අතරෙයි දාවිත් රජ වෙනවාට කැමති මිනිසුන් අතරෙයි යුද්ධයක් ඇති වෙනවා. නමුත් අන්තිමේදී දාවිත්ගේ මිනිස්සු දිනනවා. දාවිත්ව රජකමට පත් කරනකොට එයාට වයස අවුරුදු 30යි. එයා අවුරුදු හතහමාරක් හෙබ්‍රොන්වල පාලනය කරනවා. එහෙදී, එයාට උපන් පුතුන් සමහරදෙනෙක් නම් අම්නොන්, අබ්සලොම් හා අදොනියායි.

කාලයකට පස්සේ දාවිත් එයාගේ මිනිස්සු එක්ක යෙරුසලම කියන ලස්සන නගරය අල්ලාගන්නවා. ශෙරුයා කියන දාවිත්ගේ සහෝදරියගේ පුතෙක් වන යෝවාබ් සටනේ මුල් තැන ගන්නවා. ඉතින් දාවිත් එයාව හමුදාවේ නායකයා කරලා එයාට ස්තූති කරනවා. දාවිත් ඊට පස්සේ යෙරුසලම් නගරය පාලනය කරන්න පටන්ගන්නවා.