Skip to content

පටුනට යන්න

කතන්දර 63

නුවණ ඇති සාලමොන් රජ

නුවණ ඇති සාලමොන් රජ

සාලමොන් රජ වුණේ හුඟාක් බාල වයසේදීයි. එයා යෙහෝවාට ආදරෙන් එයාගේ තාත්තා ඒ කියන්නේ දාවිත් දුන්න හොඳ උපදෙස් අනුවත් ක්‍රියා කරනවා. යෙහෝවා සාලමොන් ගැන සතුටු වෙනවා. ඉතින් දවසක්දා, එයා රෑ නිදාගෙන ඉන්නකොට ඔහු සිහිනයකින් මෙහෙම අහනවා: ‘සාලමොන්, මම ඔයාට මොනවා දෙනවටද ඔයා කැමති?’

මෙහෙම අහනකොට සාලමොන් උත්තර දීලා කියනවා: ‘මගේ දෙවි යෙහෝවා, මම වයසින් හරිම බාලයි, ඉතින් මම පාලනය කරන්න දන්නේ නැහැ. ඒ නිසා ඔබේ සෙනඟව හරි විදියට පාලනය කරන්න මට නුවණ දෙන්න.’

සාලමොන් ඉල්ලූ දේ ගැන යෙහෝවා සන්තෝෂ වෙනවා. ඉතින් ඔහු කියනවා: ‘ඔයා ගොඩක් කාලයක් ජීවත් වෙන්නවත්, වස්තුවවත් ඉල්ලන්නේ නැතුව නුවණ ඉල්ලූ නිසා, මෙතෙක් ජීවත් වුණ වෙන කාටවත් වඩා නුවණක් මම ඔයාට දෙනවා. ඔයා ඉල්ලුවේ නැති දේවලුත්, ඒ කියන්නේ වස්තුවත් කීර්තියත් මම ඔයාට දෙනවා.’

ටික කාලෙකට පස්සේ සාලමොන් ළඟට ස්ත්‍රීන් දෙන්නෙක් එනවා. ඒගොල්ලන්ට විසඳන්න අමාරු ප්‍රශ්නයක් එයාට කියනවා. ‘මේ ගෑනියි මමයි එකම ගෙදරයි ජීවත් වෙන්නේ’ කියලා එක ස්ත්‍රියක් විස්තර කරනවා. ‘මට පිරිමි දරුවෙක් ඉපදුණා. දවස් දෙකකට පස්සේ ඇයටත් පිරිමි දරුවෙක් ඉපදුණා. ටික දවසක් ගිහිල්ලා එයාගේ ළමයා රෑ මැරුණා. මම නිදාගෙන ඉන්නකොට එයා එයාගේ මැරුණ ළමයව මා ළඟ තියලා මගේ ළමයව ගත්තා. මම නින්දෙන් ඇහැරිලා මැරිච්ච ළමයව දැක්කාම මම දැනගත්තා ඒ මගේ ළමයා නම් නෙමෙයි කියලා.’

මේක ඇහුණාම අනික් ස්ත්‍රිය කියනවා: ‘නෑ! ජීවත් වෙන දරුවා මගේ. මැරුණු දරුවා එයාගේ!’ පළවෙනි ස්ත්‍රිය උත්තර දීලා කියනවා: ‘නෑ! මැරුණු දරුවා ඔයාගේ. ජීවත් වෙන දරුවා මගේ!’ ඉතින් මෙහෙම ඒ ස්ත්‍රීන් රණ්ඩු කරන්න ගත්තා. දැන් සාලමොන් මොනවාද කරන්න යන්නේ?

එයා කඩුවක් ගේන්න කියනවා. ඒක ගෙනාවාට පස්සේ එයා කියනවා: ‘පණ ඇති දරුවාව දෙකට කපලා, මේ ස්ත්‍රීන්ට භාගේ භාගේ දෙන්න’ කියලා.

‘අනේ එපා! කරුණාකරලා දරුවාව මරන්න එපා. අරයාට දෙන්න!’ කියලා ඇත්ත අම්මා අඬනවා. ඒ වුණාට අනික් ස්ත්‍රිය කියනවා: ‘අපි දෙන්නාගෙන් කාටවත් දරුවාව දෙන්න එපා; හරි, දරුවාව දෙකට කපන්න’ කියලා.

අන්තිමට සාලමොන් කතා කරලා මෙහෙම කියනවා: ‘දරුවාව මරන්න එපා! පළවෙනි ස්ත්‍රියට එයාව දෙන්න. ඇය තමයි ඇත්ත අම්මා.’ සාලමොන් මේක දන්නේ, ඇත්ත අම්මා දරුවාට තියෙන ආදරේ නිසා දරුවව මරනවා දකින්න අකමැත්තෙන් එයාව අනික් ස්ත්‍රියට දෙන්න වුණත් කැමති වුණ නිසයි. සාලමොන් මේ ප්‍රශ්නය විසඳුව විදිහ ගැන මිනිස්සුන් දැනගත්තාම, ඒගොල්ලන්ට ඒ තරම් නුවණ ඇති රජෙක් ඉන්න එක ගැන සන්තෝෂ වෙනවා.

සාලමොන්ගේ පාලන කාලයේදී, දෙවි මිනිස්සුන්ට ආශීර්වාද කරනවා. පස සරු කරලා තිරිඟු, බාර්ලි, මිදි හා අත්තික්කාත් වෙන ආහාර ජාතිත් වැවෙන්න සලස්වනවා. මිනිස්සු හොඳ ඇඳුම් ඇඳලා ලස්සන ගෙවල්වල ජීවත් වෙනවා. හැමදෙනාටම හොඳ දේවල් ඕනෑවටත් වඩා තියෙනවා.