Skip to content

පටුනට යන්න

කතන්දර 64

සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි

සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි

දාවිත් මැරෙන්න කලින්, යෙහෝවාගේ මාළිගාව ගොඩනැඟීමට දෙවි දුන්න සැලැස්ම එයා සාලමොන්ට දුන්නා. සාලමොන් පාලනය කරන්න පටන් අරගෙන අවුරුදු හතරක් ගියාට පස්සේ එයා දේවමාළිගාව ගොඩනඟන්න පටන්ගන්නවා. ඒක හදලා ඉවර කරන්න අවුරුදු හතහමාරක් ගත වෙනවා වගේම, ඒක ගොඩනඟන්න මිනිස්සු දසදහස් ගණන් වැඩ කරනවා. ඒකට රත්තරන් හා රිදී ගොඩක් පාවිච්චි වෙන නිසා මේ ගොඩනැඟිල්ල හදන්න මුදල් ගොඩක් වියදම් වෙනවා.

මණ්ඩපයේ තිබුණා වගේම, දේවමාළිගාවේත් ප්‍රධාන කාමර දෙකක් තියෙනවා. ඒ වුණාට මේ කාමර, මණ්ඩපයේ තිබුණු කාමරවලට වඩා දෙගුණයකින් විශාලයි. දේවමාළිගාවේ ඇතුල් කාමරයේ සාලමොන් ගිවිසුම් පෙට්ටිය තියන්න සලස්සනවා. මණ්ඩපය ඇතුලේ තිබුණු අනික් දේවල් ඊළඟ කාමරයේ තියනවා.

දේවමාළිගාව ගොඩනඟලා ඉවර වුණාම මිනිස්සු ලොකු උත්සවයක් පවත්වනවා. ඔයාට මේ පින්තූරයේ පේන විදිහට, සාලමොන් දේවමාළිගාව ඉදිරියේ දණගහලා යාච්ඤා කරනවා. ‘මුළු ස්වර්ගයම ඔබට මදි නම්, මේ දේවමාළිගාව ඊටත් වඩා කොච්චර පුංචිද’ කියලා සාලමොන් යෙහෝවාට කියනවා. ‘ඒ වුණාට අනේ මගේ දෙවියනි, මේ මාළිගාව දෙසට හැරිලා ඔබගේ සෙනඟ යාච්ඤා කරනකොට කරුණාකරලා ඒගොල්ලන්ට සවන් දෙන්න.’

සාලමොන් එයාගේ යාච්ඤාව ඉවර කරද්දී, ස්වර්ගයෙන් ගින්දර එනවා. ඒකෙන් මිනිස්සුන්ගේ සත්ව පූජා පිච්චිලා යනවා. යෙහෝවාගෙන් එන ආලෝකයකින් දේවමාළිගාව පිරෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ යෙහෝවා අහගෙන ඉන්නවා කියලයි. ඔහු දේවමාළිගාව ගැන හා සාලමොන්ගේ යාච්ඤාව ගැන සන්තෝෂ වෙනවා කියලත් මේකෙන් පෙන්නුම් කරනවා. දැන් මිනිස්සු නමස්කාර කරන්න එන්නේ මණ්ඩපයට නෙවෙයි දේවමාළිගාවටයි.

සාලමොන් ගොඩක් කාලයක් නුවණ ඇතුව පාලනය කරනවා. ඉතින් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා. ඒ වුණාට සාලමොන් යෙහෝවාට නමස්කාර කරන්නේ නැති වෙන රටවල්වල ස්ත්‍රීන්ව විවාහ කරගන්නවා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් අර රූපයට නමස්කාර කරනවා ඔයාට පේනවාද? අන්තිමේදී මොනවාද වෙන්නේ? එයාගේ භාර්යාවන්ට පුළුවන් වෙනවා සාලමොන්වත් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පොලඹවාගන්න. සාලමොන් මෙහෙම කරන්න පටන්ගත්තාම වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද? එයා ඊට පස්සේ මිනිස්සුන්ට හොඳින් සලකන්නේ නැහැ. එයා නපුරු වෙනවා. ඉතින් දැන් මිනිස්සු සන්තෝෂයෙන් නෙවෙයි ඉන්නේ.

මේ නිසා යෙහෝවාට සාලමොන් එක්ක කේන්ති යනවා. ඔහු එයාට කියනවා: ‘මම ඔයාගෙන් රාජ්‍යය අරං ඒක වෙන මිනිසෙකුට දෙන්න යනවා. මම මේක ඔයාගේ ජීවිත කාලයේදී කරන්නේ නැති වුණත් ඔයාගේ පුතා පාලනය කරන කාලයේදී කරන්න යනවා. කොහොම වුණත් මේ රාජ්‍යයට අයිති මිනිස්සු හැමදෙනාවම ඔයාගේ පුතාගෙන් ඈත් කරන්න යන්නේ නැහැ.’ මේක වෙන්නේ කොහොමද කියලා බලමුද?