Skip to content

පටුනට යන්න

කතන්දර 66

යෙසෙබෙල්—නපුරු බිසවක්

යෙසෙබෙල්—නපුරු බිසවක්

යෙරොබොවම් රජ මැරුණාට පස්සේ, ඉශ්‍රායෙල් දේශයේ උතුරු දිශාවේ තියෙන ගෝත්‍ර දහයේ රාජ්‍යය පාලනය කරන හැම රජෙක්ම නරකයි. නරකම රජ ආහබ්. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? එක ලොකු හේතුවක් වෙන්නේ එයාගේ භාර්යාවයි. ඒ නපුරු යෙසෙබෙල් බිසවයි.

යෙසෙබෙල් ඉශ්‍රායෙල් ජාතික ස්ත්‍රියක් නෙවෙයි. ඇය ශීදොන්වල රජුගේ දුව. බාල් කියන බොරු දෙවියාට ඇය නමස්කාර කරනවා විතරක් නෙවෙයි, ඇය ආහබ් හා ඉශ්‍රායෙල්වරුන් හුඟදෙනෙකුටත් බාල්ට නමස්කාර කරන්න බල කරනවා. යෙසෙබෙල්ට යෙහෝවාව පෙන්නන්න බැහැ. ඇය ඔහුගේ අනාගතවක්තෘවරුන් හුඟදෙනෙක්ව මරනවා. අනිත් අයට තමන්ගේ පණ බේරාගන්න ගුහාවල හැංගිලා ඉන්න සිද්ධ වෙනවා. යෙසෙබෙල්ට දෙයක් ඕන වුණොත් කෙනෙක්ව මරලා හරි ඒක ලබාගන්නවා.

දවසක්දා ආහබ් රජ හරිම දුකෙන් ඉන්නවා. ඉතින් යෙසෙබෙල් එයාගෙන් අහනවා: ‘ඔයා අද දුකින් ඉන්නේ ඇයි’ කියලා.

‘නාබොත් මට කියපු දේ නිසයි’ කියලා ආහබ් උත්තර දෙනවා. ‘එයාගේ මිදි වත්ත මිලට ගන්න මට ඕන වුණා. හැබැයි එයා කිව්වා මට ඒක දෙන්නේ නැහැයි කියලා.’

‘අයියෝ, ඔයා දුක් වෙන්න එපා, මම ඒක ඔයාට අරං දෙන්නම්’ කියලා යෙසෙබෙල් කියනවා.

ඉතින් මේ නාබොත් කියන මිනිසා ජීවත් වෙන නගරයේම ඉන්න නායකයන්ගෙන් සමහරදෙනෙකුට යෙසෙබෙල් ලියුම් ලියනවා. ඇය ඒගොල්ලන්ට මෙහෙම කියනවා: ‘කිසි කමකට නැති මිනිසුන් කිහිපදෙනෙක් එකතු කරගන්න. නාබොත් දෙවිටත්, රජුටත් ශාප කරලා තියෙනවා කියලා ඒගොල්ලො ලවා හැමෝටම කියන්න. ඊට පස්සේ නාබොත්ව නගරයෙන් එළියට අරන් ගිහින්, එයාට ගල් ගහලා මරන්න.’

නාබොත් මැරිලයි කියලා යෙසෙබෙල්ට දැනගන්න ලැබුණ ගමන්ම, ඇය ආහබ්ට කියනවා: ‘හරි දැන් යන්න, ගිහිල්ලා එයාගේ මිදි වත්ත ගන්න’ කියලා. මේ තරම් නපුරු දෙයක් කරපු නිසා යෙසෙබෙල්ට දඬුවම් ලැබෙන්නම ඕනේ නේද?

ඉතින් කාලයක් ගියාට පස්සේ, ඇයට දඬුවම් කරන්න යෙහෝවා යේහු කියන මිනිසාව එවනවා. යේහු එනවා කියලා යෙසෙබෙල්ට අහන්න ලැබුණාම, ඇය ඇගේ ඇස් පාට කරලා, හැඩ වෙන්න උත්සාහ කරනවා. ඒ වුණාට යේහු ඇවිත්, යෙසෙබෙල් ජනේලය ළඟ ඉන්නවා දැක්කාම, එයා මාළිගාවේ ඉන්න මිනිසුන්ට කතා කරලා කියනවා: ‘ඇයව පහළට තල්ලු කරන්න!’ කියලා. ඔයාට පින්තූරයේ පේන විදිහට, ඒ මිනිස්සු කරන්නේ ඒකයි. ඒගොල්ලන් ඇයව පහළට තල්ලු කළාම ඇය මැරෙනවා. මෙහෙමයි නපුරු යෙසෙබෙල් බිසව නැති වුණේ.