Skip to content

පටුනට යන්න

කතන්දර 68

නැවත නැඟිට්ට පිරිමි ළමයි දෙන්නෙක්

නැවත නැඟිට්ට පිරිමි ළමයි දෙන්නෙක්

ඔයා මැරුණාට පස්සේ, කවුරු හරි ඔයාව ආයෙත් ජීවත් කෙරෙව්වොතින් ඔයාගේ අම්මාට කොහොම හිතෙයිද? එයා ගොඩක් සන්තෝෂ වෙයි, නේද? ඒ වුණාට මැරුණු කෙනෙක්ට ආයෙත් ජීවත් වෙන්න පුළුවන්ද? මීට කලින් මේ වාගේ දෙයක් වෙලා තියෙනවාද?

මෙතන ඉන්න මිනිසා, ස්ත්‍රිය හා පිරිමි ළමයා දිහා බලන්න. මේ මිනිසාගේ නම එලියා. එයා අනාගතවක්තෘවරයෙක්. මේ ස්ත්‍රිය, ශාරෙපත් නගරයේ ජීවත් වෙන වැන්දඹුවක්. පිරිමි ළමයා තමයි ඇගේ පුතා. දවසක්දා මේ ළමයා ලෙඩ වෙනවා. මේ ලෙඩෙ වැඩි වෙලා, අමාරු වෙලා අන්තිමට එයා මැරෙනවා. එතකොට එලියා ස්ත්‍රියට කියනවා: ‘ළමයාව මට දෙන්න’ කියලා.

එලියා මැරුණ ළමයාව උඩු මහලට අරන් ගිහින් එයාව ඇඳ උඩ තියනවා. ඊට පස්සේ එයා මෙහෙම යාච්ඤා කරනවා: ‘අනේ යෙහෝවා, ළමයාව ආයෙත් ජීවත් කරවන්න.’ මෙන්න, ළමයා හුස්ම ගන්න පටන්ගන්නවා! එතකොට එලියා එයාව ආයෙත් පහළට ගෙනිහින් ස්ත්‍රියට මෙහෙම කියනවා: ‘බලන්න, ඔයාගේ පුතා ජීවත් වෙනවා!’ අම්මා මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ ඒ නිසයි.

යෙහෝවාට තවත් හොඳ අනාගතවක්තෘවරයෙක් ඉන්නවා එලිෂා කියලා. එයා එලියාගේ වැඩවලට උදව් කරනවා. නමුත් කාලයකට පස්සේ යෙහෝවා එලිෂාවත් පාවිච්චි කරනවා පුදුම දේවල් කරන්න. දවසක් එලිෂා ෂුනෙම් නගරයට යනවා. එහිදී ස්ත්‍රියක් එයාට හරිම හොඳට සලකනවා. කාලෙකට පස්සේ මේ ස්ත්‍රියට පිරිමි දරුවෙක් ලැබෙනවා.

ළමයා ලොකු වුණාට පස්සේ දවසක්, කෙතේ වැඩ කරන එයාගේ තාත්තා එක්ක ඉන්න එයා යනවා. එකපාරටම ‘අනේ, මගේ ඔළුව රිදෙනවෝ!’ කියලා ළමයා කෑගහන්න පටන්ගන්නවා. එයාව ගෙදර අරන් ගියාට පස්සේ ළමයා මැරෙනවා. එයාගේ අම්මාට දැන් කොච්චර දුකද! එවෙලේම ඇය ගිහිල්ලා එලිෂාව ගෙදරට එක්කගෙන එනවා.

එලිෂා ආවාම, එයා මැරුණ ළමයා ඉන්න කාමරයට යනවා. එයා යෙහෝවාට යාච්ඤා කරලා, ඒ ළමයාගේ ඇඟ උඩ නිදාගන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් ළමයාගේ ඇඟේ රස්නයක් දැනෙනවා. එයා කිඹුහුම් හතක් අරිනවා. ඇගේ පුතා ජීවත් වෙලා ඉන්නවා දැක්කාම අම්මට කොච්චර සන්තෝෂද!

අද වෙනකොට මිනිස්සු කීදෙනෙක් මැරිලා ඇද්ද? මේ නිසා ඒගොල්ලන්ගේ පවුල්වල ඉන්න අයයි ඒගොල්ලන්ගේ යාළුවනුයි ගොඩක් දුක් වෙනවා. මැරුණ අයව නැඟිටුවන්න අපිට නම් බලයක් නැහැ. ඒ වුණාට යෙහෝවාට ඒ බලය තියෙනවා. ඉතින් ඔහු බොහෝදෙනෙක්ව ආයෙත් ජීවත් කරවන හැටි ගැන අපි පස්සේ ඉගෙනගන්න යනවා.