Skip to content

පටුනට යන්න

කතන්දර 70

යෝනා සහ ලොකු මාළුවා

යෝනා සහ ලොකු මාළුවා

මුහුදේ ඉන්න අර මිනිසා දිහා බලන්න. එයා නම් ලොකු කරදරයකට වැටිලා වගේ නේද? තව ටික වෙලාවකින් අර මාළුවා එයාව ගිලින්නයි යන්නේ! මේ මිනිසා කවුද කියලා ඔයා දන්නවාද? එයාගේ නම යෝනා. එයා මෙච්චර ලොකු කරදරයකට වැටුණේ කොහොමද කියලා බලමුද?

යෝනා යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක්. අනාගතවක්තෘ එලිෂා මැරිලා ටික කාලයක් ගියාට පස්සේ යෙහෝවා යෝනාට මෙහෙම කියනවා: ‘නිනිවය කියන ලොකු නගරයට යන්න. එහේ ඉන්න මිනිස්සු හරිම නරකයි. මම ඔයාව යවන්නේ එහෙ ගිහින් ඒගොල්ලන්ට ඒ ගැන කතා කරන්නයි.’

ඒ වුණාට යෝනා යන්න කැමති නැහැ. ඉතින් එයා නිනිවයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දිශාවට යන නැවකට නඟිනවා. යෝනා පලා යන එක ගැන යෙහෝවා කැමති වෙන්නේ නැහැ. ඉතින් යෙහෝවා විශාල කුණාටුවක් ඇති වෙන්න සලස්වනවා. ඒක කොච්චර තද එකක්ද කිව්වොත් නැව ගිලෙන තත්වයටම පත් වෙනවා. නැවියෝ ගොඩක් භය වෙලා ඒගොල්ලන්ගේ දෙවිවරුන්ගෙන් උදව් ඉල්ලලා කෑගහනවා.

අන්තිමට යෝනා ඒගොල්ලන්ට කියනවා: ‘අහසයි පොළොවයි හදපු දෙවි යෙහෝවාටයි මම නමස්කාර කරන්නේ. යෙහෝවා මට කරන්න කියපු දේ කරන්නේ නැතුව මම පලා යනවා.’ ඉතින් නැවියන් එයාගෙන් අහනවා: ‘කුණාටුව නවත්තන්න නම් අපි ඔයාට මොකක්ද කරන්න ඕනේ?’

‘මාව මුහුදට විසි කරන්න. එතකොට මුහුද ආයෙත් නිශ්ශබ්ද වෙයි’ කියලා යෝනා කියනවා. එහෙම කරන්න නැවියෝ කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට කුණාටුව වැඩි වෙන්න පටන්ගත්තාම ඒගොල්ලන් අන්තිමට යෝනාව නැවෙන් එළියට විසි කරනවා. එවෙලේම කුණාටුව නැවතෙනවා. මුහුද ආයෙත් නිශ්චල වෙනවා.

යෝනා මුහුදේ ගිලෙනකොට මේ ලොකු මාළුවා එයාව ගිලිනවා. ඒ වුණාට එයා මැරෙන්නේ නැහැ. දවස් තුනකුයි රෑ තුනකුයි එයා ඒ මාළුවාගේ බඩේ ඉන්නවා. යෙහෝවාට කීකරු වෙලා නිනිවයට ගියේ නැති එක ගැන යෝනා ගොඩක් දුක් වෙනවා. ඉතින් එයා කරන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?

යෝනා යෙහෝවාට යාච්ඤා කරලා උදව් ඉල්ලනවා. එතකොට යෝනාව වෙරළට වමනය කරන්න යෙහෝවා මාළුවට සලස්වනවා. ඊට පස්සේ යෝනා නිනිවයට යනවා. යෙහෝවා කියන ඕනෑම දෙයක් කරන එක කොච්චර වැදගත්ද කියලා මේ කතන්දරය අපට උගන්වනවා නේද?

බයිබලයේ යෝනාගේ 1–4 පොත.